(ඉකුත් දෙසැම්බර් 16 වැනි සිකුරාදා දින දිනපතා දිවයින පුවත්පතේ පල වූ ලිපිය ඇසුරිනි.)
මත්ද්‍රව්‍ය භාවිතය ගැන කතාවේදී අද බියකරුම මාතෘකාව වී ඇත්තේ පාසල් දරුවන් අතර අයිස් නැමැති මත්ද්‍රව්‍යය ව්‍යාප්ත වීමය. මෙම මත්දුව්‍ය ඇබ්බැහියේ ගේට්ටුවක් ලෙස මත්පැන් සහ දුම්වැටි භාවිතය ක්‍රියාත්මක වන බව ලෝකයේ පිළිගැනීම වී තිබුණද ලංකාවේ තත්වය එසේ වන්නේ නැත.
අපේ රටේ මෙම මත් උවදුර එක් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙද්දී සෙසු මත්පැන් උවදුරු තවත් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙයි. අපේ අද අවධානය දැනට නීත්‍යනුකූල තත්ත්වයෙන් පවතින මත්පැන් භාවිතය තුළ පවා බරපතල අවිධිමත් භාවයක් පැවතීම පිළිබඳවය. නීති විරෝධි මත් උවදුර දැවැන්ත මෙහෙයුමකින් පහසුවෙන් අවසන් කළ හැකිය. එසේ නොවන්නේ වෙනත් හේතු නිසාය.
මෙම මත්පැන් අවභාවිතය එසේ පහසුවෙන් මෙල්ල කළ නොහැකිය. ඒ එය ගරිල්ලා “ගේමක්“ වන නිසාය. අනෙක එය හඳුනා ගැනීමට තරම් සියුම් පර්යේෂණ විමර්ශන රට තුළ සිදු නොවන නිසාය.
මැතකදිම ඇසුණු කාරණය වන්නේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය සමාධි රාජපක්ෂ විසින් කර ලද ප්‍රකාශයකි. මෙම ලිපිය ලිවීමට හේතු පාදක වන්නේත් ඔහුගේ එම කතාවය.
සමාධි රාජපක්ෂගේ කතාව
ඔහු එහිදී සඳහන් කොට තිබුණේ දිනකට පුද්ගලයන් 55 දෙනකු මත් පැන් හෝ දුම්වැටි පානය හේතුවෙන් මරණයට පත්වන බවය. ඒ අනුව මාසයකට පුද්ගලයන් 1650ක් මිය යන අතර වසරක් තුළ සාමාන්‍යයෙන් 20,000ක් පමණ මිය යන බවය. මේ රටේ මත්පැන් පානය කරන පුද්ගලයන්ගෙන් සාතිශය බහුතරය පිරිමින් වන අතර එයින්ද වැඩි පිරිසක් පවුලේ ආර්ථිකයේ මුල් පුරුක විය හැකිය. ඒ අනුව බලන කල මෙයින් ඇතිවන සමාජාර්ථික බලපෑම සුලු කොට තැකිය නොහැකිය.
එහෙත් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පවසන ගණන් හිලව් සම්බන්ධයෙන් අපට යම් ගැටලුවක් ඇත. එයට හේතුව මෙම සංඛ්‍යා ලේඛණ සඳහා ඔහු පදනම් කර ගන්නේ කවර පර්යේෂණයක්දැයි මෙතෙක් ප්‍රකාශ නොකිරීමය.අපිද මෙම සභාපතිවරයාගෙන් මේ ගැන වැඩිදුර විමසීමට උත්සාහ කළද ඔහු කිහිප වරක්ම දුරකථනයට නිසි ප්‍රතිචාරයක් දුන්නේ නැත.
සභාපතිවරයා ඉදිරිපත් කරන දත්තය මේ රටේ මත් පැන් හෝ දුම්වැටි සම්බන්ධයෙන් සිදුවන මරණ පිළිබඳව සැලකීමේදී එය ප්‍රබල දත්තයකි. එහෙත් මේ බව අනාවරණය වන්නේ කවර පර්යේෂණයක් මතදැයි එසේ නැතිනම් කවර සමීක්ෂණයකින්දැයි ප්‍රකාශ නොවීම මත මෙම කතා සාවද්‍ය හෝ නිරවද්‍යතාව පිළිබඳව නිසි විශ්වාසයක් ඇති කර ගත නොහැකිය. හේතුව අපේ රටේ මත් පැන් භාවිතය සම්බන්ධයෙන් යම් යම් විද්‍යාර්ථීන් තම පෞද්ගලික උනන්දුව මත සිදු කළ පර්යේෂණ කිහිපයක් හැරෙන්නට ජාතික මට්ටමෙන් මේ පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණ නොකෙරෙන තරමට හීන වී ඇති නිසාය.

විද්‍යාත්මක දත්ත කෝ
සැබැවින්ම විදුහුරු පුද්ගලයකු වන මත්පැන් සහ දුම්වැටි පිළිබඳව ජාතික අධිකාරියේ සභාපතිවරයා රජරට විශ්ව විද්‍යාලයයට සම්බන්ධ ආචාර්යවරයෙකි. ඔහුට නිසැකවම පර්යේෂණ පිළිබඳ පසුබිමක්ද ඇති පුද්ගලයකු ලෙස පිළිගත හැකිය. අනෙක ජාතික අධිකාරිය පිහිටුවන ලද්දේද මත් පැන් සහ දුම්වැටි භාවිතය පිළිබඳ ව පර්යේෂණ සහ සමීක්ෂණ සිදුකිරීම සහ ඒ දත්ත මත රටේ මත්පැන් සහ දුම්වැටි භාවිතය සම්බන්ධ ප්‍රතිපත්ති සැකසීම, නීති රීති සැකසීම සහ මේ පිළිබඳ ව දැනුවත් කිරීම යන පියවර ද ඉලක්ක කළ අරමුණු වෙනුවෙනි.
එක් දිනක් තුළ හෘදයාබාධ , අධි රුධිර පීඩනය හෝ සිරෝසිස් තත්ත්වය නිසා මිය යන සියල්ල එක් කොට මේ සියල්ල මත් පැන් සහ දුම්වැටි භාවිතය හේතුවෙන් මිය ගියේ යයි උපකල්පනය කොට දත්ත හෝ සංඛ්‍යාලේඛණ ගොඩ නැගිය හැකිය. මේ සඳහා නිශ්චිත කාල වකවානුවක් තුළ නිශ්චිත ක්‍රමවේදයක් මත නිසි විද්‍යාත්මක සමීක්ෂණයක් හෝ පර්යේෂණයක් සිදු කළ යුතුය. මේ එකතු වන දත්ත තුළ රටේ මත්පැන් සහ දුම්වැටි භාවිතය සම්බන්ධයෙන් බදු අය කර රාජ්‍ය ආදායම් වැඩි කිරීම, නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය මෙල්ල කිරීම, රටේ සෞඛ්‍ය දේහයට දරන්නට සිදුවන බර අඩු කර ගැනීම සමාජයීය වශයෙන් සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබදව අතිශයින්ම වැදගත් තීන්දු තීරණ රැසක් ගත හැකිය.
මේ සඳහා පාදක කර ත් හැකි මෙන්ම අරමුදල් සපයා ගත හැකි ක්‍රමවේද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද පැහැදිළිව දක්වනු ලැබ ඇත. විශේෂයෙන් 2010 වසරේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 53 වැනි ලෝක සෞඛ්‍ය සංවිධාන රැස්වීමේදී සම්මත කර ගන්නා ලද යෝජනාවලිය තුළ හානිකර මත්පැන් සහ දුම්කොළ භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් දීර්ඝ මඟ පෙන්වීම් මාලාවක් සිදු කොට ඇත.
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිහිටුවීමේ පදනම
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිහිටුවීම සඳහා ද පදනම් කර ගැනුණේ 2003 වසරේ ඉදිරිපත් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය සදහා වූ සම්මුතියයි. එබැවින් රටට නිවැරදි විදයාක්මක තොරතුරු තීන්දු තීරණ ගැනීමේදී අතිශය්ම බලවත්ය.
නිදසුනක් ලෙස එවැනි සමීක්ෂණයක් කළ විට මත් පැන් සහ දුම්වැටි හේතුවෙන් වැඩිපුරම මිය යන්නේ කවර දිස්ත්‍රික්කයක අයද? ඔවුන්ගේ සමාජාර්ථික මට්ටම කෙබඳුද?, මෙම මිය යන පුද්ගලයන් වැඩියෙන්ම අයත් වන්නේ වයස් කාණ්ඩවලටද? ඔවුන්ට ගේ මිය යාමට බලපාන ලොකුම හා ශාරීරික හානිය කුමක්ද ආදී පුළුල් පරාසයක කරුණු මෙයින් එකතු කර ගත හැකිය.
මෙම මිය යන පුද්ගලයන් ගේ මත් පැන් පරිභෝජන රටාව ඔවුන් පානය කරන මත් පැන් වර්ග ආදී සකල තොරතුරු මෙවැනි පර්යේෂණ එකකින් හො දෙකකින් ගත හැකිය. එහෙත් එවැනි පර්යේෂණ තොරතුරු ජනතාව හමුවේ හෝ මේ රටේ ප්‍රතිපත්ති පිළිබඳව තීන්දු තීරණ ගන්නන් අතට පත් කරන ආකාරයක් අපට දැකිය නොහැකිය.
මේ වැනි විධිමත් විද්‍යාත්මක පර්යේෂණ වඩාත් අවශ්‍ය වන්නේ ඇයි? ඒ සඳහා හේතු හතු පිපෙන්නාක් මෙන් මේ කර්මාන්තය තුළ පහළ වීම ප්‍රධාන හේතුවකි.
බේබද්න්ගේ වැඩිවීම
පසුගිය දිනවල රට තුළ මේ සම්බන්ධයෙන් ඇති වූ කතා බහ සියල්ලම පසුපස මේ අවශ්‍යතාව දැඩිව ඇත. මේ කතා බහ අතර කියවුණු එක් කරුණක් වන්නේ පසුගිය කාලය තුළ මත් පැන් නිෂ්පාදනය සහ පරිභෝජනය වැඩිවී ඇති බවය. 2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මත්පැන් පිළිබඳ ගෝලීය වාර්තාව සකසන්නේ 2016 දක්වා පවතින දත්ත මතය. ඒ අනුව සැලකීමේදී ශ්‍රි ලංකාවේ මත්පැන් පානය සියයට 94කින් වර්ධනය වී ඇත.
මෙසේ වර්ධනය වෙද්දී නීති විරෝධී මත්පැන් භාවිතය 2004 වසරට සාපේක්ෂ ව සියයට 300කින් වර්ධනය වී ඇත. නීත්‍යනුකූලව මත්පැන් කර්මාන්තයේ නියැළෙන්නන්ද ඔවුන්ගේ ඉල්ලුම සැපයුම තුලනය කිරීම සඳහා නීත්‍යනුකූල නොවන අයුරින් සහ අසම්මත ක්‍රමයන්ගෙන් කර්මාන්තයට අවශ්‍ය එතනොල් ලබා ගන්නා බව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් බරපතල කරුණු රැසක් මාධ්‍යවලින් ද පළ වූ අතර සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ වැන්නන් පාර්ලිමේන්තුව තුළදීත් පිටතදීත් මේ කරුණු පෙන්වා දී ඇත.
රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාතවරයා පවසන්නේ මෙරට නීත්‍යනුකූල නොවන මත් පැන් නිෂ්පාදනය සියයට 300කින් වැඩි වී ඇති බවය. අද සුරාබදු දෙපාර්තමේන්තුවට වංගු ගසමින් බදු වංචාවක් සිදු කරන්නේ නීත්‍යනුකූල මත් පැන් නිපදවන්නන් විසින් සිදු කරන නිත්‍යනුකූල නොවන නිෂ්පාදන ක්‍රමවේදයන් නිසා බව ඔහු තවදුටත් පවසයි. මේ අතරේ බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෑතකදී මත්පැන් බෝතල් සඳහා හඳුන්වාදෙන ලද ස්ටිකරය ද වංචනික ලෙස අවභාවිත කරමින් නීත්‍යනුකූල නොවන බදු නොගෙවූ මත්පැන් වෙළෙඳපොළට යැවීමට කටයුතු සිදු කරන බවය.
එයින් ද පෙනෙන්නේ හොර අරක්කු නියම අරක්කු වේශයෙන් රට තුළ සංසරණය වන බවය. මේ නිෂ්පාදන ක්‍රියා පිළිවෙත් හි අනුගමනය කළ යුතු සම්මතයන් පිළිබඳව නිසි විමර්ශනයකට හෝ ප්‍රමිතියකට ලක් නොවන නිසා අද තමත් නීනීත්‍යනුකූල මත්පැන් පවා ප්‍රමිතිය සම්බන්ධ නිසි සම්මතයකට අනුව මෙරට වෙළෙදපොල තුළ අලෙවි වන්නේදැයි අපේ පාරිභෝගිකයන්ට භාවිතයට ගන්නට හැකි වන්නේද යන්න පිළිබඳව නිසි වැටහීමක් නැත..
ඒ අනුව බලන කල මේ සියල්ල පිළිබඳව පර්යේෂණ සිදු කිරීමේ සහ එවැනි පර්යේෂණවලට මෙවර විශ්ව විද්‍යාල පර්යේෂණ හෝ වෙනත් පර්යේෂකයන් අදාළ පර්යේෂණ සඳහා ප්‍රදාන පිරිනැමීමේ සුපිරි බලය ඇත්තේ මෙම අධිකාරියට බවය.
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට අනුකූලව පිහිටුවන්නේම තමන් විසින් සිදු කරනු ලබන පර්යේෂණ දත්ත මත ශ්‍රි ලංකාවේ මත්පැන් භාවිතය සහ දුම්වැටි භාවිතයට අදාල ප්‍රතිපත්ති සැකසීමටය. එසේ නැතිව මෙම අධිකාරියට පත්වන සබාපතිවරයකු හෝ වෙනත් අයකු පවසන ආකාරයට ශ්‍රි ලංකාව මත් පැන් හෝ දුම්වැටිවලින් තොර රටක් බවට පත් කරන බවට කියන කතා තනිකරම ප්‍රලාපයකි. එයට හේතු ඇත.
ආර්ථිකය අරක්කු මත යැපීම
රාජ්‍ය භාණ්ඩාගාරයේ නිලධාරීන් සිය භාණ්ඩාගාරය රාජ්‍ය බදුවලින් පුරවන්නට භාවිත කරන ප්‍රධාන කුලුණු තුනෙන් එකක් වන්නේ සුරා බදු දෙපාර්තමේන්තුව වීමය. නිසි කලට වෙලාවට සුරා බදු මුදල් භාණ්ඩාගාරයට එකතු නොවුණහොත් භාණ්ඩාගාර නිලධාරීන් ඔලුව කන්නේ සුරාබදු නිලධාරීන්ගේය. එයින් පෙනෙන්නේ නීත්‍යනුකූල මත්පැන් අලෙවි වන තරමට රජයට බදු එකතු වන බවය.
මේ රටේ බලයට පත්වන බොහෝ රාජ්‍ය නායකයින් මතට තිත තැබීමට අවශ්‍ය බව පවසමින් කලින් කලට ආකර්ෂණීය සටන් පාඨ ගෙනාවද ඔවුනට එක පෑන් පහරින් රටේම නීත්‍යනුකූල මත්පැන් තහනම් කිරීමේ බලය හිමිව තිබියදීත් එසේ නොකරන්නේ එය ප්‍රායෝගික නොවන නිසාය. එහෙත් සබුද්ධිකව රටේ මත්පැන් හේතුවෙන් සිදුවන මරණ හෝ සෞඛ්‍ය හානි අවම කිරීමට නම් මෙම කර්මාන්තය දැඩි පාලනයකට සම්මත ක්‍රියාවලියකට සහ අධීක්ෂණයකට යටත්ව ක්‍රියාත්මක විය යුතුය. අනෙක නීති විරෝධී මත් පැන් සහ සහ මත්ද්‍රව්‍ය අලෙවිය සම්බන්ධයෙන් පවතින දත්ත විමර්ශන තීව්ර කොට ඔවුන් නිතියේ රැහැනට හසු කර ගත හැකිය. අද මේ දෙකම නිසි ලෙස සිදුවන්නේ නැත.
සිදුවන එකම දේ රාජ්‍ය භාණ්ඩාගාරය කලට වේලාවට සුරා බදු ටික තම ගිණුමට දමා ගැනීම පමණකි. එහෙත් ඉහත කී ඇමතිවරුන් සුරාබදු නිලධාරීන් සහ ඇතැම් පර්යේෂකයන් පවසන තොරතුරු අනුව බිමේ යථාර්ථය ඊට වඩා බියකරු විය හැකිය. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා කියන ගණන් හිලව් ඊට වඩා කිහිප ගුණයකින් වැඩි වන්නටද පුළුවන.
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය බොරුවක් ද?
එහෙත් දැනටමත් මත්පැන් භාවිතය සම්බන්ධයෙන් රට තුළ පවතින වියවුල්කාරී තත්ත්වය හමුවේ නීති රීති සැකසීම හෝ ප්‍රතිපත්ති සඳහා සමීක්ෂණ හෝ පර්යේෂණ මත සාධනීය මැදිහත්වීමක් මෙම අධිකාරිය විසින් සිදු කරන බවක් පෙනෙන්නට නැත. මේ තත්ත්වය තුළ යකා කියන තරම් කලුද කියනවාටත් වඩා යකා කලුද නැතිනම් ඇත්තටම සැඟව සිටින්නේ ඔය කියන තැනද නැතිනම් වෙනත් දිශාවකද ආදිය යන්න පිළිබඳ ව නිශ්චිත අදහසක් ගත නොහැකිය.
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වාර්ෂික විගණන වාර්තා පිළිබඳව විමසීමේදිද පොදුවේ පෙනී යන කරුණක් වන්නේ බොහෝ වසරවල ඔවුන්ට සිය ක්‍රියාකාරී සැලැස්ම තුළ පවතින අංග සාර්ථකව දියත් කිරීමේ දුර්වලතා පවතින බවය. විශේෂයෙන් මෙම ආයතනයට බොහෝ විට අදාළ පර්යේෂණ සමීක්ෂණ ඇතුළු ව්‍යාපෘති සඳහා විදේශ ආධාර ලැබුණත් ඒවා නිසි වාසියට නොගත් අවස්ථා ඇත. නිදසුනක් ලෙස 2019 වසරේ ස්මෝක්ලස් ටුබැකෝ බ්ලූම්බර්ග් ආයතනය විසින් ලබා දී ඇති රුපියල් මිලියන 18කට ආසන්න මුදලකින් ඔවුන් අපේක්ෂා කළ අරමුණු තුනක් මත අදාළ ව්‍යාපෘති සඳහා වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 1.5ක ආසන්න මුදලක් පමණි.
එම මුදලින් සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් වෙන් කළ හැකි මුදල සමස්ත මුදලින් සියයට 17ක් වුවද එම මුදලින් සියයට 38ක් වැය කර තිබුණේ සේවක වැටුප් සහ දීමනා වෙනුවෙනි. එවැනි මුදල් පැමිණියද මෙම ආයතනය තුළ පවතින අකාර්යකෂමතා හේතුවෙන් නිසි ඵලයක් ලබා ගත නොහැකි බව විගණන වාර්තාවේද දක්වා ඇත.
ඒ එක් නිදසුනක් පමණි. නමුත් මේ මොහොතේ මෙම අධිකාරිය ප්‍රමුඛතාව දිය යුතු කරුණු රැසක් අද ජාතිය හමුවේ ඇත. මේ සඳහා ජාත්‍යන්තර ප්‍රතිපාදනද ලබා ගැනීමට අවස්ථා ඇත. එබැවින් මෙම අධිකාරිය කළ යුත්තේ ඇස් පියාගෙන ගණන් හිලව් තබනවා වෙනුවට බිමේ යථාර්ථය පිළිබඳව විධිමත් සමීක්ෂණ සහ පර්යේෂණ සිදුකොට රට නිවැරදි දිශානතියකට තල්ලු කිරීමය.









