දෙමස් ගැබිණියක වූ තම බිරිය ඝාතනය කළ බව කියමින් මහනුවර කටුගස්තොට පොලිසියට පැමිණ “මහත්තයෝ… මම මගෙ ගෑණිව මැරුවා“ යැයි කියා භාර වූ පුද්ගලයෙක් ගැන පුවතක් වාර්තා වෙයි.
පෙරෝදා (09) රාත්‍රියේ පැමිණි මෙම පුද්ගලයා ගේ ප්‍රකාශය ඇසීමෙන් පසුව පොලිස් නිළධාරින් හැකි ඉක්මනින් දොරණෑගම පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබිණි.
නිවස පරීක්ෂා කිරීමේදී දෙමස් ගැබිණිය අත්පා ගැටගසා වයරයකින් ගෙළ සිර කිරීමකට ලක්කොට තිබෙනු පොලිස් නිලධාරීන්ට දැක ගත හැකි විය. එහෙත් ඇය මියගොස් නොසිටි අතර අසාධ්‍ය තත්ත්වයෙන් ඇඳක් මත සිටියාය.
ඇයට මූලික ප්‍රථමාධාර කර වහාම රෝහල් ගත කිරීමට පොලිස් නිළධාරින් පියවර ගත්තේය.
බිරිය සමග ඇති වූ බහින්බස් වීමකින් පසු සැමියා විසින් බිරියට පහරදී ඇය ඇඳක් මත තබා දෙඅත් ගැටගසා ඇගේ ගෙළ වයරයකින් සිරකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා වාහන අලුත්වැඩියා කරන කාර්මිකයෙකු බවත් ඔහු හා බිරිඳ අතර නිතර ආරවුල් පැවති ඇති බවත් පොලීසිය පවසයි.
සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්.උවින්දසිරිඅගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේන ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරති.