දිනසේන රතුගමගේ
බ්‍රිතාන්‍යයේ සවුත්හැම්ප්ටන් (Southampton) නගරයේදී 19 හැවිරිදි තරුණියක දූෂණය කිරීම ඇතුළු බරපතල චෝදනා කිහිපයක් යටතේ 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු හැම්ප්ෂයර් (Hampshire) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සවුත්හැම්ප්ටන් නගර මධ්‍යයේ පිහිටි පොලිගන් (Polygon) ප්‍රදේශයේ නිවසකදී පසුගිය පෙබරවාරි 5 වන බ්‍රහස්පතින්දා මෙම අපරාධය සිදුව ඇති බවට පොලිසියට වාර්තා වී ඇත. අදාළ පැමිණිල්ල ලැබීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ හැම්ප්ෂයර් පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් වියාන් සුරේන්ද්‍රනාදන් (Viaan Surendranathan) නමැති මෙම තරුණයාට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා සහ ‘A’ කාණ්ඩයේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම පිලිබඳ චෝදනා එල්ල වී තිබේ.
ලිංගික ක්‍රියාකාරකම් සඳහා පුද්ගලයෙකු අඩපණ කිරීමේ හෝ සිහිමුර්ජා කිරීමේ අරමුණින් මෙම මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව පොලිස් විමර්ශකයෝ කියති.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අගතියට පත් කාන්තාව මේ වන විට පොලිස් ආරක්ෂාව සහ සහය යටතේ පසුවන බවයි.
හැම්ප්ෂයර් පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ සැකකාර ශ්‍රී ලාංකික තරුණයා සවුත්හැම්ප්ටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බවය.
මෙම තරුණයා මීට වසර දෙකකට පමරණ පෙර යාපනයේ සිට බ්‍රිතාන්‍යයයට සංක්‍රමණය වූ අයෙකි.







