ජූලි 9 වැනිදා පැවති අරගලයේදී බලහත්කාරයෙන් අල්ලාගෙන දිගුකාලීන පදිංචියට යොදාගත් පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකමකින් යුක්ත රාජ්‍ය වත්කම් අදාළ බලධාරීන්ට යළි ලබා දෙන ලෙසත් සිය සාමාජිකයින් සංයමයෙන් හා වැඩි වගකීමකින් කටයුතු කිරීමට පොළඹවා ගන්නා ලෙසත් අරගලයේ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරයි.
තවදුරටත් ප්‍රචණ්ඩත්වය හා ව්‍යාකූලත්වය අවුලවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලියුමේ ප්‍රමාදය හෙළා දකින බවත්, රටේ තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා ගත් ප්‍රචණ්ඩත්වය මුසු තීන්දු තීරණ සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බවත් සංගමය සඳහන් කරයි.
ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම බාර දෙන්නේ නම් එය අරගලයේ අවසන් ඉලක්කය වන අතර ඉන් අනතුරුව රට යළි නිවැරදි මාවතට යොමු වෙනු ඇතැයි සංගමය බලාපොරොත්තු වේ. ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ පසු නව ජනාධිපතිවරයෙකු පත් කිරීම හා රටේ අනාගතය තීරණය කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නිසා එම කටයුතු නිවැරදිව ඉටු කිරීමට පාර්ලිමේන්තුවට සහය ලබා දිය යුතු යැයි ඔවුන් පෙන්වා දෙයි. ‘පළමුව රට’ යන්න සිහියේ තබාගෙන සියලු දෙනා කටයුතු කළ අතර කතානායකවරයා වඩාත් අපක්ෂපාතීව කටයුතු කළ යුතුය. එලෙසම නිවැරදි තීරණ ගැනීම පමා වෙද්දී ජාතියට තව දුරටත් වන්දි ගේවීමට සිදු වෙන අතර විශේෂයෙන්ම අරගලයේ සිටින ප්‍රජාව ප්‍රචණ්ඩකාරී වීම වළක්වා ගත නොහැකි වෙනු ඇතැයි ද ජීවිත අහිමි වෙනු ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.







