ලලිත් චාමින්ද –
ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් විසින් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි.
විවිධ අපරාධ සම්බන්දයෙන් ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවිකාන්තාවකට බන්ධනාගාර ජේලර්වරිය විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බව බන්ධනාගාර නියාමකවරිය විසින් පොලිසියට කරණු ලැබු පැමිණිල්ලේ සඳහන් වේ.
බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරිම සඳහා ජේලර්වරිය විසින් තමන්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට රැඳවිකාන්තාව විසින් වෙනත් කාන්තාවකට පවසා ඇත. ඇය මේ බව බන්ධනාගාර නියාමකවරියට දැනුම් දී ඇති බව පොලිසිය පවසයි. රැඳවි කාන්තාව විසින් මෙම කොන්ත්‍රාත්තුව භාරගෙන නොමැති බව ද පොලිසිය පවසයි.
ඒ අනුව බන්ධනාගාර නියාමකවරිය විසින් මේ පිළිබඳ ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිලිකොට ඇත. බන්ධනාගාර නියාමකවරියගෙන් සහ ජේලර්වරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මේ පිළිබද අධිකරණයට කරුණු වාර්තාකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය කියයි.
අධිකරණය මගින් නියෝගයක් ලබාගෙන බන්ධනාගාරගතව සිටින රැඳවිකාන්තාවගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනිමට කටයුතු කරණ බව පොලිසිය පවසයි. උසස් වීමට බාධා කිරිමේ සිද්ධියක් හේතුවෙන් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවට පොලිසිය කියයි.
ගාල්ල බන්ධනාගාරය මගින් ද මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භකොට ඇති අතර ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.







