පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ට අනිවාර්යෙන්ම කැබිනට් අමාත්‍යාංශ ලබාදිය යුතු බව පොදුජන පෙරමුණ යළිත් වරක් අද (19) අවධාරණය කර ඇත.
මේ වනවිට විදේශ සංචාරයක නිරත වී සිටින ජනාධිපතිවරයා එම සංචාරයට පෙර තමන්ගේ ප්‍රධානත්වයෙන් පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ දී ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් එම ඉල්ලීම කර තිබිණි.
එහෙත් ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ නොකර නිහඬව සිටි බවය.
මින් පෙර හය වතාවක් පොදු පෙරමුණේ ප්‍රධානීන් සහ දිස්ත්‍රික් නායකයින්ට ඇමති ධූර ප්රදානය කිරීම සම්බන්ධව ප්‍රකාශ වි තිබුණත් එම සියලුම අවස්ථාවල දී ජනාධිපතිවරයා එම කැබිනට් සංශෝධන මගහැරීම සම්බන්ධව පොදු ජන පෙරමුණ තුළ බරපතල අප්‍රසාදයක් ඇති වී තිබුණ බව වාර්තා විය.
ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශ වෙමින් ඇත්තේ නව ඇමතිකම් ලබා දී ජනතා අප්‍රසාදයට පත් වූ දේශපාලකයින්ට අමාත්‍ය ධූර ලබා දීමෙන් රටේ ඉදිරි ගමනට යහපතක් සිදු නොවන බවය.
එහෙත් පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් මතුකරන තර්කය වනුයේ මත්ද්‍රව්‍ය චෝදනා පවා ලද ඇතැම් අන්ත දූෂිත රාජ්‍ය ඇමතිවරුන් ප්රමුඛ කරගෙන, පොදු ජන පෙරමුණේත් කොටසක් බිඳ ගෙන ජනාධිපතිවරයා යන ගමන දේශපාලනික වශයෙන් දෙපාර්ශවයටම විනාශයක් ඇති කරන බවය.
මේ වනවිට තමන්ගේ ඉදිරි ගමනට බාධා කරන්නේ නම් ආණ්ඩුව විසුරුවා හැරීමට වුවද සූදානම් බවට ජනාධිපතිවරයා විසින් පොහෝටුවේ ඇතැම් නායකයින්ට දන්වා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පොහොට්ටුව වෙත නව ඇමතිකම් නොදී සීමා කර ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ අමාත්‍යාංශ කීපයක් ඇති ඇමතිවරු තම අමාත්‍යාංශ ඉවත් කිරීමට බලවත් විරෝධයක් මතු කර ඇති හෙයින් බව පොදුජන පෙරමුණ ආරංචි මාර්ග කියයි.







