කීර්ති ප්‍රනාන්දු –
ශ්‍රී ලංකා පොලිසිය සෑම අවස්ථාවකදීම කාන්තා පොලිස් නිලධාරින්ගේ අයිතීන් තහවුරු කර ඇති බවත්, කාන්තා නියෝජනය වර්ධන කිරීම සඳහා කාන්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරක්, කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරු 04ක්, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු 12ක් ඇති කිරීමට පොලිස් මූලස්ථානය යෝජනාවලියක් ඉදිරිපත් කළේ 2019.12.12 දින බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය නිකුත් කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් කාන්තා නිලධාරීන් දෙවෙනිකොට සලකන බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමිනි.
කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරක් පමණක් අනුමතව තිබිය දී ජාතික පොලිස් කොමිෂන් සභාව හා සාකච්ඡා කර එයට අමරව කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9ක් එම තනතුරට උසස් කිරීම සිදු කරනු ලැබුවේ 2019 දී බව එම නිවේදනයේ දැක්වේ.
රාජ්‍ය ආයතනවලින් 15%ක ප්‍රමාණයක් කාන්තා නිලධාරීන් සඳහා වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය ප්‍රකාරව ශ්‍රී ලංකා පොලිසිය තුළත් තනතුරුවලින් 15%ක් කාන්තා නිලධාරීන් සඳහා වෙන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වී ඇතැයි ද මේ නිවේදනය හරහා පොලිස් මූලස්ථානය තහවුරු කරයි.








