සූරියවැව නුවන් ජයසේකර –
තංගල්ල පොලිස් ක්ෂණික විහිදුම් බළකායේ නිළධාරී කණ්ඩායමක් විසින් සූරියවැව හත්පහ ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී අණනොතකා ධාවනය කල යතුරු පැදියකට පොලිස් නිළධාරීන් වෙඩි තබා ඇති අතර පළාගිය සැකකරු අද (02) අළුයම සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව විහාගල පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක පොලිස් ක්ෂණික විහිදුම් බළකායේ නිළධාරී කණ්ඩායමක් ඊයෙ දින රාත්‍රී 11.45ට පමණ සූරියවැව හත්පහ ප්‍රදේශයේ විශේෂ රථවාහන පරීක්ෂාවක නිරතව සිට තිබේ.
එම අවස්ථාවේදී පැමිණි යතුරු පැදියකට නවතන ලෙසට පොලිස් නිළධාරීන් සංඥා කර ඇතත් යතුරු පැදිය නොනවත්වා ධාවනය කර තිබේ. එම අවස්ථාවේදි රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් එම යතුරු පැදිය පසු පස හඹාගොස් සූරියවැව වැලිවැව ප්‍රදේශයේදි යතුරුපැදිය නවතන ලෙසට යළි අණ කර ඇතත් පැදිකරු යතුරුපැදිය නොනවත්වා ධාවනය කර ඇත.
එහිදි පොලිස් නිළධාරීන් විසින් යතුරු පැදියට වෙඩි ප්‍රහාර 03ක් එල්ල කර තිබේ.එම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකුගේ පාදයට වෙඩි වැදුණු නමුත් පැදිකරුවන් වෙඩි වැදීමෙන් අනතුරුවද පොලිස් නිළධාරීන් මග හැර පළාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය විසින් සිදුකළ විමර්ශන්යේ දි අනාවරණය වුයේ වෙඩි වැදීමෙන් පසු පළාගිය පුද්ගලයා ඊයේ (02) අළුයම 5.40ට පමණ යකඩ කූරක් ඇණුනු බව පවසා සූරියවැව රෝහලේ හිදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රථිකාර ලබා ගැනීමෙන් පසු සිය කැමැත්තෙන්ම වැඩිදුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට යන බව කියා ටිකට් කපාගෙන ගොස් ඇති බවය. සැකකරුගේ දකුණු පාදයේ යටිපතුල ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ලව තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරමින් සිටින අතරතුර සැකකරු පෙරවරුවේ සිය මව සමග සූරියවැව පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර එහිදී පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අණනොතකා ධාවනය කිරිම,ආදායම් බළපත්‍ර නොමැතිව ධාවනය කිරිම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
යතුරු පැදියේ සැකකරු සමග සූරියවැව පන්සිය පනහ ප්‍රදේශයේ පදිංචි සුද්දා යන අන්වර්ථ නමින් හදුන්වන පුද්ගලයාද වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පටුපස ගමන්කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්දයෙන් තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්ත ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.







