මනම්පිටිය නිමල් ජයරත්න –
හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළට වැටී පසුගිය දිනක අලි පැටවුන් පස්දෙනෙකු ඇතුළු වන අලි හත්දෙනකු අකාලයේ මියයෑම පසුපස හඳපාන්විල රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් සිටින බවත් මෙය අපරාධයක් බවත් ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යාන සුරැකීමේ සංගමයේ සභාපති ටී. තීපන් සඳහන් කළේය.
පසුගිය 27 වෙනිදා අවුරුදු 01,08,09.10, හා 15 ,25 යන වයසේ පසුවන වන අලි හත් දෙනෙකු හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළට වැටි මියගිය අතර, වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඇලේ එරී ජලය පෙවීමෙන් එම අලි හත්දෙනා මියගොස් ඇති බවයි.
ඕඩේ ඇළට අලි රංචුව වැටීමට හේතු වී ඇත්තේ හඳපාන්විල විල්ලුවේ මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කරන ජාවාරම්කරුවන් තමන් විසින් නිශ්පාදනය කරගත් තුවක්කුවලින් වෙඩි තබමින් මෙම වන අලි ඕඩ ඇළට පන්නා දැමීම නිසා බව දැන් හෙළි වී ඇතැයි තීපන් පෙන්වා දුන්නේය. බියට පත් වන අලි පැටව් සහ තරුණ අලි දෙදෙනෙක් බියපත් වී ඕඩ ඇලට වැටී ඇත්තේ ඒ අනුව බවත්, ජාවාරම්කරුවන් තමන්ගේ ආරක්ෂාව සහ ගොඩා බැරල්වල සහ උපකරණවල ආරක්ෂාවත් සහතික කරගැනීමට වන අලි රංචුව මෙසේ බිය ගන්වා පළවා ඇති බව ද සභාපතිවරයා හෙළි කළේය.
හඳපාන්විල විල්ලුව ඇතුළු සොරිවිල ප්‍රදේශයේ ජාවාරම්කරුවන් මහා පරිමාණයෙන් අරක්කු නිෂ්පාදනය කරන අතර එම ජාවාරම්කරුවන් විවිධ අවස්ථාවලදී වන අලින්ට මෙන්ම වන සතුන්ට හානි කරන අයුරුද ඔහු පවසයි.
මෙම අපරාධ කරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව මේ වනවිට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විවේචනයක් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට එල්ල වී තිබේ.







