ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ යෝජනා මාලාව ගෙන එන්නේ ආණ්ඩුවෙන්ද, එසේත් නැතිනම් ජනාධිපතිවරයාගේ පුද්ගලික යෝජනාවලියක් ලෙස ද යන්න පැහැදිලි කරන ලෙස විපක්ෂය අද (09) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ ප්රශ්නය මතුකරමින් ජනාධිපතිවරයාට කියා සිටියේ මෙම යෝජනා මාලාවට ප්රගතිශීලි ලෙස සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සූදානම් නමුත් ඊට පෙර ආණ්ඩු පක්ෂය මෙම යෝජනාවලියට කැමති ද නැද්ද යන්න පිළිබඳව විමසා එකඟතාවයකින් යුතුව එය ඉදිරිපත් කරන ලෙසය.
තමන් එසේ පවසන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාවන් සඳහා එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කර ඇති බව පෙන්වා දෙමිනි.
ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා කෙළින්ම ජනාධිපතිවරයාට කීවේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ලැබුණු ජනවරම යොදාගෙන පාර්ලිමේන්තුවේ 134ක ඡන්ද බලයෙන් ජනාධිපතිවූ ජනාධිපතිවරයා හැට නව ලක්ෂයක ජනවරම අවභාවිතා කරමින් මෙවැනි යෝජනාවක් ගෙන ඒම ලජ්ජා සහගත බවය.
අතුරලියේ රතන හිමියන් සහ වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ මේ ප්‍රවේශය දැඩිව විවේචනය කළේය. මේ අතර රවුෆ් හකීම් මන්ත්‍රීවරයා නැගිට කියා සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්න කතා කරන්නට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පමණක් හමුවී ඇති නිසා තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීමට උතුරු නැගෙනහිර මුස්ලිම් මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව දෙන ලෙසය.
ජනාධිපතිවරයා ඊට එකඟ වූයේය.
මේ අවස්ථාවේ දී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ මේ වාර්ගික ප්‍රවේශය අතිශයින්ම වැරදි සහගත බවය.
ඔහු විමසා සිටියේ උතුරු නැගෙනහිර පළාත්වල සිංහල මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න නැති ද යන්නය. මේ වාර්ගික ප්‍රවේශය නැති ප්‍රශ්න ඇති කරන බව කී මන්ත්‍රීවරයා වාර්ගික කණ්ඩායම් ලෙස බෙදා හමු නොවී උතුරු නැගෙනහිර සියලුම දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡා කරන ලෙසය.
“ උතුර නැගෙනහිර සිංහල මිනිස්සුන්ට පුදුම ප්‍රශ්නයක් තියෙන්නේ. තිස්ස විහාරයේ කඨින පින්කම තියාගන්න අපට බැරි වුනා. ඒ පළාත් දෙකේ සුළුතරය වූ සිංහල ජනතාවට තියන ගැටලුත් කතා කරන්න. හැමෝම එක්ක කතා කරන්න. ද්‍රවිඩ මන්ත්‍රීවරු එක්ක කතා කරමු. මුස්ලිම් මන්ත්‍රීවරු එක්ක කතා කරමු. ඒ එක්කම සිංහලයන්ගේ ප්‍රශ්න ගැනත් කතා කරමු. “
13 සම්බන්ධව ආණ්ඩුවේ මතය කුමක්දැයි විපක්ෂය පක්ෂ කරද්දී ආණඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග නැගී සිටියේය. ඔහු කීවේ පොදු ජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂ බවය. මහින්ද රාජපක්ෂ යනු ඒකීය රාජ්‍යයක් තුළ 13+ ගැන කතා කළ නායකයෙක් බව ඔහු කීවේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යටතේ පොදුජන පෙරමුණ මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ප්රගතිශීලී මතයක සිටින බව ප්‍රසන්න රණතුංග පැවසුවේය. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේ දැන් ගෙවී යන්නේ වාද විවාද කරමින් ගත කළ යුතු කාලයක් නොවන බවය.
අවසානයේ ජනාධිපතිවරයා නැගී සිටියේය.
“ මා එකක් යොජනා කරනවා. මේ ප්රශ්නය ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්න පොදුජන පෙරමුණේ ලයිස්තුවෙන් ආපු ඒ පැත්තෙ මේ පැත්තේ ඉන්න සියලු දෙනාම මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් මුණගැහිලා තීරණයක් අරගන්න.
මම නෙවෙයි නෙ කිව්වේ. විපක්ෂයෙන් කිව්වේ මොකක් ද?. මහින්ද රාජපක්ෂ කියන එක කරන්නේ කියලා. දැන් ඔයගොල්ල ඔක්කොම එයාව හම්බවෙලා රැස්වීමක් තියලා කරන්න. මට වැඩක් නෑ ඒක.”







