පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වන විට අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා සඳහන් කරන්නේ අතුරුදහන් වූ පිරිස අතර එක් ක්‍රීඩා කළමනාකරුවෙක් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් සිටින බවය.
ජූඩෝ ක්‍රීඩිකා චමිලා ඩිලානි, ඇගේ කළමනාකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශනිත් චතුරංග පසුගිය සතියේ අතුරුදහන් වූ තිදෙනා වූයේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය සියළුම සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ඔවුන් වෙත ආපසු පැමිණීම සහතික කර තිබුණත්, සමහරුන් පිටව යාම වළක්වා ගැනීමට එය අසමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි.
AFP හි වාර්තාවකට අනුව, බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අතුරුදහන් වූ කණ්ඩායමේ පළමු සාමාජිකයින් තිදෙනා සොයා ගත් නමුත් ඔවුන් තිදෙනාටම මාස හයකට වලංගු වීසා බලපත්‍ර තිබූ බැවින් ද, ඔවුන් රටේ කිසිම නීතියක් උල්ලංඝණය කර නැති බැවින් ද ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
පලා ගිය පිරිස එංගලන්තයේ රැඳී සිටිමින් රැකියා අපේක්ෂාවෙන් සිටිනු ඇතැයි විශ්වාස කරන ලංකාවේ බලධාරීන් පවසා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ එංගලන්ත පොලිසිය විසින් පලා ගිය එම පුද්ගලයින් තිදෙනා ගැන කිසිදු තොරතුරක් ලබා දී නැති බවය.
හින්දුස්ථාන් ටයිම්ස් මේ සිදුවීම මෙසේ වාර්තා කරයි.
“ශ්‍රී ලංකාව වසර 76ක ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටී. උග්‍ර විදේශ විනිමය හිඟයක් රට තුළ ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වැනි අවශ්‍යතා සැපයීමට බලපා ඇත.”
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 161 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් කණ්ඩායමක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගී වූහ.







