දිනසේන රතුගමගේ –
-
මෙම සිද්ධිය වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහළ සමාජ ක්‍රියාකාරිකයාට මරණ තරජන… ඔහුගේ සමාජ මාධ්‍ය ගිනුම් සියල්ලත් අත් හිටුවලා…
බත් කවමින් කුඩා දරුවකුට ඉතා අමානුෂීය අන්දමට පහර දුන් එම දරුවාගේ බාප්පා සහ පවුලේ හතර දෙනෙකු තිරියාය ප්‍රදේශයේ සැඟව සිටියදී වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අද ( 5 ) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.
පරුෂ වචනයෙන් බැන වදිමින් එම දරුවාට අතින් පයින් පහර දුන් පුද්ගලයා වැලිඔය කුකුල් චමින්ද නැමැත්තා බවට බොහෝ දෙනෙකු හදුණා ගෙන පොලීසියට තොරතුරු සපයා තිබුණේ කුඩා දරුවාට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ ඉතා වේගයෙන් සංසරණය වීමත් සමගය.
පහර දුන් පුද්ගලයා දරුවාගේ මවගේ අනියම් පුරුෂයා බව හෙළි වී ඇති අතර ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවද වැලිඔය පොලීසිය සඳහන් කරයි.
කුඩා දරුවා සීනි බෝතලයට අත දමා සීනි ස්වල්පයක් හොරෙන් කෑවේ යැයි කියමින් එම පුද්ගලයා දරුවාට දැඩි ලෙස පහර දෙද්දී දරුවාගේ මව හා එම මවගේ මව හා තවත් ළමුන් දෙදෙනෙකුද සිද්ධිය වැළැක්වීමට කිසිම උත්සාහයක් නොගෙන පහර දීම දෙස බලා සිටින අන්දම වීඩියෝවේ අන්තර් ගත වී තිබේ.
එසේ පහර දීම නවතා දැමීමට පියවර නොගැනීමද ඉතා බරපතල වරදක් බැවින් ඔවුන්වද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
වැලිඔය හංසවිල ගම්මානයේ පදිංචිව සිටි මෙම පවුල පිළිබදව වැලිඔය පොලීසියට තොරතුරු ලබීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාල පුද්ගලයා සොයා ගිය නමුත් ඔහු පවුලේ උදවිය සමග නිවසින් අතුරුදහන් වී සිටියේය.
පසුව පොලිස් වීශේෂකාර්ය බලකාය හා වැලිඔය පොලිස් ස්ථනාධිපතිවරයා අතුලු නිලධාරීන් පිරිසක් සිදුකළ පරීක්ෂණවලදී සැකකරු හා පවුලේ උදවිය තිරියාය ප්‍රදේශයේ නිවසක සැගවී සිටින බවට තොරතුරු ලැබී තිබේ.
පසුව ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා කැබිතිගොලෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර කුඩා දරුවාට පහර දෙන අන්දම වීඩියෝ කළ වැලිඔය ප්‍රදේශයේ සමාජ ක්‍රියාධරයෙකුට මරණීය තර්ජන එල්ල වී ඇති අතර ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් සියල්ලද කිසියම් පිරිසක් විසින් අක්‍රීයකොට තිබේ.
මේ පිළිබදව ඔහු ආණ්ඩුකාර කාර්යාලයට හා තවත් වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකුටම පැමිණිලි කොට තිබේ.