සුමිත් පොතුපිටිය –
පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා ටී 56 වර්ගයේ ගිනි අවියක්, රැගෙන මෝටර් රථයකින් යමින් සිටී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්ගොඩ වීරප්පන් සහ බාජා නැමැති අන්වර්ථ නාමවලින් හදුන්වන 46 සහ 29 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.
යුක්තිය මෙහෙයුමට සමගාමීව උප පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ ඇතුළු පොලිස් කණ්ඩායම දෙල්ගොඩ සිට අගුරුවාතොට දෙසට ගමන්කල මෝටර් රථය නාර්තුපාන පාළම ආසන්නයේ දී නවතා පරීක්ෂා කිරීමේදී උණ්ඩ 28 ක් සහිත මැගසීනයක් සහිත ටී 56 ගිනිඅවියක් , කඩු 2 ක්, අත් බෝම්බ 2 ක් සහ හෙරෝයින් මත්කුඩු ග්රෑම් 11 ක් සොයාගෙන මෝටර් රථය සමග භාරයට ගෙන තිබේ.
තවදුරටත් ප්රධාන සැකකරු ගේ නිවස වටලා පරීක්ෂා කිරීමේදී තවත් කඩු 5 ක්, වායු රයිෆලයක්, ගල්කටස් ගිනිඅවියක් , සොයාගත් බවද පොලිසිය කීය.
ටී 56 ගිනි අවියේ සියලු අංක කිසියම් උපකාරණයක් යොදා මකාදමා තිබූ බවත් , ඒ සම්බන්දයෙන් රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්ථාවක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් මතුගම මහේස්ත්රාත් අධ්කරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතව තිබූණි .
සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ සහ ප්රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාරගේ උපදෙස් පරිදි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ ප්රධානත්වයෙන් , සැරයන් වරුන්වන සුසිල් (45783), ඉන්දික (60015), තාරක (74305) , කොස්තාපල් වරුන්වන ප්රියන්ත (79431), අසංක (40382), කුමාර (100360), ජයවර්ධන (103926), සුදර්ශණ (105002) සහ පොකොරි අමල්ක (89882) වැටලීමට එක්වූහ .







