හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සඳුදා (19) සිට දින නියමයක් නොමැතිව වසා තබන බව එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පවසති.
එහි නේවාසිකාගාරවල සිටින සිසුන් අද (16) සවස 4න් පසු නේවාසිකාගාරවලින් පිටවී යා යුතු අතර, නේවාසිකාගාර යතුරු නේවාසිකාගාර උපපාලකවරුන්ට භාරදෙන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද මහෝපාධ්‍ය හිමියෝ සඳහන් කළහ.
සඳුදා සවස 4.00 න් පසු නේවාසිකාගාරවලින් සියලු සිසුන් ඉවත්විය යුතු බවත්, අනවසරයෙන් රැඳී සිටියහොත් නීති රීති රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ කීහ.
මේ අතර නවක වදය දීම ඇතුළු චෝදනා හතරක් යටතේ හෝමාගම පොලිඅත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් මෙම මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අද උදේ නියෝග කලාය .
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පලමු වසරේ සිසුන් ගෙන් සහ පාලනාධිකාරියෙන් ලද පැමිණිලි මත සිදු කල විමර්ශනයකින් පසු එම හිමියන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරිනි.
විශ්ව විද්‍යාල නවක සිසුන්ට අමානුෂික ලෙස නවක වදය ලබා දීම, අයුතු සිර කර තැබීම, අයුතු අවහිරය සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ එම නඩුව ගොනුකර තිබුණි.
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ නවක වද සිදුවීම සම්බන්ධ පුලුල් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා ඊයේ උපදෙස් දී තිබිණි.







