මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා පාසල් ආසන්නයේ වැටලීම් දැඩි කිරීමට පොලිසිය තීරණය කර තිබේ.
දැනට මෙම උවදුරට දැඩිව මුහුණ දී සිටින බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම මෙහෙයුම් සැලසුම් වී ඇත.
කළුතර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ පාසල් ආවරණය වන ආකාරයට පාසල් සහ ඒ අවට වෙළෙඳස් පොලිස් නිල සුනඛයින් යොදා ගනිමින් පරික්ෂා කරනු ලැබුවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ නීතීඥ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පාසල් ඉලක්ක කරගෙන සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා ඇති අතර ඒ වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවන බවය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පාසල්වලට අනුයුක්ත කරන බවත්, ඊට අදාළ උපදෙස් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත ලබාදුන් බවත් ඔහු පැවසීය.
මීට අමතරව, ප්‍රජා පොලිස් කොට්ඨාසය විසින් පාසල් ආසන්නයේ ව්‍යාපාර කරන වෙළඳුන් සහ වෙළෙඳසල් නිරීක්ෂණය කරනු ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ උපකාරක පන්ති ආසන්නයේ ද එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
අයිස් මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පාසල් සිසුන් 81 දෙනෙකු මේ වනවිට පුනුරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ ප්‍රකාශ කළේය.







