දිනසේන රතුගමගේ –
ඉන්දු-ලංකා ධීවර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනතුරු තාවකාලික පියවරක් වශයෙන් ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදේ බාධාවකින් තොරව මසුන් මැරීමට අවසර ලබා දෙන මෙන් තමිල්නාඩු රජය විසින් කරණ ලද ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් 6 දා ප්‍රතික්ෂේප කොට තිබේ.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ තමිල්නාඩුවේ සාගර සම්පත් කටයුතු පිළිබද අමාත්‍යවරයා විසින් මේ ඉල්ලීම සිදු කරණ ලද බවත් තමිල්නාඩු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තමන් සමග දුරකතනයෙන් බොහෝ වේලාවක් කතා කොට අවසර ලබා ගත හැකි ක්‍රමයක් විමසා සිටි බවත්ය.
ශ්‍රි ලංකා රජය තමන්ගෙන්ද මේ ඉල්ලීම ගැන නිර්දේශ විමසූ අවස්ථවේදී තමන්ද ඊට විරෝධයපල කළ බව ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ තත්ත්වය ඉන්දීය ධීවරයින් ශ්‍රි ලංකා මුහුදු කලාපයට නිල වශයෙන් පිවිසීමට දරණ උත්සාහයක් ලෙස තමන් දකින බව කී ධීවර අමාත්‍යවරයා 2024 වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බෝට්ටු 12ක් ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන ඇති බවද සදහන් කළේය.
කෙසේ වෙතත්, ඉන්දීය ධීවරයින් ශ්‍රි ලංකා මුහුදට නොපැමිණෙන බවට තමිල්නාඩු රජය සහතික වීමෙන් පසුව පමණක් ධීවර කටයුතු සම්බන්ධයෙන් තමන්ට සාකච්ඡා කළ හැකි බව ද අමාත්‍යවරයා කීවේය.

නාවික හමුදාව ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම මෑත කලයේදී වැඩි වීමත් උතුරේ ධීවරයින් ඉන්දීය ධීවරයින්ට එරෙහිව විරෝධය පලකිරීම දැඩි වීමත් සමගම ඉන්දීය ධීවරයින් ඔවුන්ගේ ආරක්ෂාව මත උතුරු මුහුදට මසුන් මැරීම පිණිස බලහත්කාරයෙන් පැමිණීම අඩු වී තිබේ.
මේ නිසා ඉන්දියාවේ ධීවර පවුල් 3000 ක් පමණ දැඩි පීඩාවට පත්ව සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කොට තිබුණි.
මේ අතර ඉන්දු –ලංකා ධීවර ප්‍රශ්නය විසඳ ගැනීම පිණිස යළිත් වරක් දෙරට අතර සාකච්ඡාවක් ආරම්හ විය යුතු බවට අලි සබ්‍රි අමාත්‍යවරයා ඉන්දියාවෙන් කළ ඉල්ලීමට මේ දක්වා කිසිම ප්‍රතිචාරයක් නොමැති බවද වාර්තා වෙයි.







