මේ වනවිට පවතින තත්ත්වය අනුව ඉදිරි පැය 24 තුළ කොළඹ නුවර පාර පහළ කඩුගන්නාවෙන් සාමාන්‍ය වාහනවලට විවෘත වුව ද යළි දැනුම් දෙන තුරු බර වාහන සඳහා විවෘත නොවනු ඇතැයි කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත ලංකාසරට පැවසුවේය.
ඔහු පවසන්නේ මෙම අවිනිශ්ඡතාවය මතු වී ඇත්තේ නායේ ගිය ස්ථානයට ඉහළින් තවමත් විශාල ගල් පැවතීමත්, කඩුගන්නාව ගල විදපු ස්ථානයට පහළින් පාරේ කොටසක් විශාල පැලීමක් සමග ඉවත් වී තිබීමත් නිසා බවය.

මේ තත්ත්ව තුළ පැන නැගී ඇති ගැටලුවලට ස්ථාවර පිළිතුරක් ලබා ගන්නා තුරු බර වාහනවලට නුවර පාරේ පහළ කඩුගන්නාවේන් ඉහළ අස්ථායී කලාපය විවර නොවනු ඇති බව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පැහැදිලි කළේය.
අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කරන නිර්දේශ ප්‍රකාරව නායේ ගිය ස්ථානයට ඉහළින් ඇති විශාල ගල් එම ස්ථානයෙන් ඉවත්කර එම භූමිය ස්ථායීකරණය කළ යුතුව ඇත. ඒ සඳහා වූ මූලික අධ්‍යයනයක් අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඩ්‍රෝන මගින් සිදුකරනු ඇත.
මේ මූලික පරීක්ෂණවලින් අනතුරුව අවට භූමියේ පාංශු ස්ථරවල ස්ථායීතාවය සම්බන්ධව දල අදහසක් ලබා ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.







