කුසගින්නේ ආහාර පිටි අහුරක්, හාල් මිටක් අපේක්ෂාවෙන් රැස් කකා සිටි අසරණයින් ඇතුළු කාන්තාවන් දරුවන් සහිතව අවම වශයෙන් පුද්ගලයින් 72ක් පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව ගාසා හි රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කරයි.
ගාසාහි රජයේ මාධ්‍ය කාර්යාලය පවසන්නේ පසුගිය සති හතර තුළ මානුෂීය සැපයුම් වෙත ප්‍රවේශ වීමට උත්සාහ කිරීමේදී ඊශ්‍රායල හමුදා විසින් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 549 දෙනෙකු මරා දමා ඇති බවය.
එක්සත් ජනපද සහ ඊශ්‍රායල සහාය ලබන ගාසා මානුෂීය පදනමේ (GHF) ආධාර බෙදා හැරීමේ ස්ථානවල හෝ ඒ ආසන්නයේ තවත් 4,066 දෙනෙකු තුවාල ලැබූ බවත් එම ආරංචි මාර්ග පවසයි.
ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගාසාවට එරෙහි ඊශ්‍රායල යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 56,259 දෙනෙකු මිය ගොස් 132,458 දෙනෙකු තුවාල ලබා තිබේ. පහත දැක්වෙන්නේ ගාසා තීරය වෙත ඊයේ ආධාර ට්‍රක් රථ ඇතුළුවන අවස්ථාවේ බඩගින්නේ වියරු වැටුණු මිනිසුන්ගේ කණගාටුදායක හැසිරීම අල් ජසීරා වාර්තා කර තිබුණු අයුරුය.







