මනම්පිටිය නිමල් ජයරත්න –
මත්ද්‍රවවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන පොළොන්නරුවේ වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වී තිබුණු ආහාර ගැටලුවක් හේතුවෙන් ඊයේ (11) සවස වැටවල් කඩාගෙන පලාගිය රැඳවියන් ගේ සම්පූර්ණ ගණන 139ක් බවත් ඉන් 37 දෙනෙක් පිළිබඳ මේ වනවිටත් කිසිම තොරතුරක් නැති බවත් පොලිසිය පවසයි.
පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (12) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් රැඳවියන් එකසියදෙදෙනා හිඟුරක්ගොඩ, මීගස්වැව, පොළොන්නරුව, පුලස්තිපුර.යන පොලිස් ස්ථානවල රඳවාගෙන කට උත්තර ලබාගැනීමට යොමු කර ඇති බවද වැලිකන්ද පොලිසිය පවසයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හාරසියඅසූ පස්දෙනකු පමණ පුනරුත්ථාපනය වෙමින් සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.
පලාගිය සැකකරුවන් කොළඹ, මීගමුව, යාපනය, මහනුවර, යන ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු විස්සත් හතළිහත් අතර වයසේ පසු වන්නන් බවද පොලිසිය පවසයි.
දැනට තොරතුරක් නැති රැඳවියන් 37 දෙනා සොයා ගැනිම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි වැලිකන්ද පොලිසි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායකගෙන් කළ විමසීමකදීම සඳහන් කළේය.
එම මෙහෙයුම් සඳහා වැලිකන්ද, පුලස්තිපුර,මීගස්වැව, හිඟුරක්ගොඩ, මනම්පිටිය, ඇතුළු තවත් පොලිස් ස්ථාන කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙ සහයෝගයෙන් පොලිසිය සහ යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා අප කළ විමසීමකදී පැවසීය.
ආහාර ගැටලුවක් මුල් කරගනිමින් ආරක්ෂක අංශ සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත ඊයේ (11) දහවල් මුලින් රැඳවියන් දොලොස් දෙනකුට පලාගොස් ඇති අතර, අනතුරුව වරින්වර සෙසු රැඳවියන් පලා ගොස් ඇති බවද පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ආරක්ෂාවට නිලධාරීන් පනස්දෙදෙනකු යොදවා සිටින අතර මේ අයුරින්ම ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී රැඳිවියන් සහ ආරක්ෂක නිලධාරීන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් අනුව, පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළවලට අලාභහානි කරමින් රැඳවියන් දෙසීයකට ආසන්න පිරිසක් පලාගොස් සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ මෙහෙයවීමෙන් පොළොන්නරුව සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල, වැලිකන්ද පොලිස් ස්ථානාධිපති සමන්ත රත්නායක ඇතුළු විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.








