අති විශිෂ්ට ඉනිම අවසානයකි. ලකුණු 171 ඉලක්කයක් පකිස්තානු කණ්ඩායමට ලැබී තිබේ. භානුක රාජපක්ෂ කණ්ඩායම මෙතෙක් ඔසවාගෙන පැමිණි ආකාරය ආශ්වාදයෙන් යුතුව බලාගෙන සිටියෙමු. භානුක පන්දු 45ක දී ලකුණු 71 ලැබූවේය. ඇත්තෙන්ම අද වාසනාවත් ඔහු සමග සිටියේය. උඩ පන්දු දෙකක් අත්හැරිනි. එම උඩපන්දු දෙකම අත්හැරීම පසුපස ශඩාබ් ඛාන් සිටියේය.
හරීස් රවුෆ් යැවූ 17 ඕවරයේ තුන්වන පන්දුවේ දී භානුක එල්ල කළ අහස උසට නැගී බොහෝ වේලාවක් ගුවනේ පැවති පන්දුව උඩපන්දුවක් ලෙස රැක ගැනිමට ශඩාබ්ට හැකිවූයේ නැත. එය ඔහු අතින් ගිලිහී ගියේය. ඒ වනවිට භානු ලකුණු 50 සම්පූර්ණ කර තිබුණේ නැත. ඔහු සිටියේ ලකුණු 46 ය. 18 වැනි ඕ්වරයේ අවසන් පන්දුවේ දී මොහොමඩ් හස්නින් ගේ පන්දුවට ඉහළින්ම එල්ල කළ පහර උඩ පන්දුවක් ලෙස රැක ගනීමට ගොස් අසීෆ් අලි සහ ශඩාබ් ගැටුනි. අෆීස් අලී අතේ තිබූ පන්දු හතරේ සීමාවට ඉහළින් විසි වී ගියේය. ලකුණු 06ක් සිටහන් විනි.

භානුක අවසන් පන්දු දෙකෙන් ඉනිම නිමා කළ ආකාරය මනරම් විය. නසීම් ෂා යැවූ තරගයේ අවසන් පන්දු ඕවරයේ පස්වන පන්දුවට හතරේ පහරකි. හයවන පන්දුවට හයකි. ලකුණු 170 සටහන් වන්නේ එසේය.
වනිඳු හසරංග පිටිය සිසාරා එල්ල කළ කරමින් කළ රිද්මයානුකූල පිතිකරණය අමතක වන්නේ නැත.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ආරම්භ කළ ආකාරයට අපට සිහිවූයේ ඇෆ්ගනිස්ථානය හා පැවති මෙම තරගාවලියේ මුල්ම තරගය ය. පකිස්ථානු වේග පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් භීතියට පත් කළහ.
කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල කුඩු වෙන පන්දුවක් නසීම් ෂා පන්දු යැවීම ඇරම්භ කරමින් එවද්දී ඔහු ලකුණු ලබාගෙන තිබුණේ නැත. ඔහු කඩුල්ල කුඩු කරගත්තේ මුහුණ දුන් පළමු පන්දුවේ දී ය. පැයට කිලෝ මීටර 150කට ඉහළ වේගයකන් පන්දු යැවමේ නිරතවුණු හරිස් රවුෆ් ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල කඩු කළේය. ඔහු ලැබුවේ 1 ලකුණක් පමණි.

හරිස් රවුෆ් හමුවේ නායක බාබාර් අසාම්ට උඩ පන්දුවක් ලබා දී පැතුම් නිශ්ශංක ලකුණු 08කට දැවී ගියේය. පළමු කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණ හොඳින් පන්දුවට පහර එල්ල කරමින් සිටි ධනංජය ද සිල්වා පන්දු 21ක දී ලකුණු 28ක් ලබා සිටිය දී දැවී ගියේය. ඒ ඉෆ්ටිකාර් අහමඩ් පන්දු යවා උඩපන්දුව රැක ගැනීමෙනි.
ඉතාම නුසුදුසු පහරක් එල්ල කිරීමට ගොස් දඟපන්දු යවන ශඩාබ් ඛාන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටී දසුන් ශානක ලකුණු 02කට දැවී ගියේය. දසුන් දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 58ට කඩුළු 05කි.
ගොඩ එන මානයක් පෙනෙන්ට තිබුණේ නැත. ලකුණු 120ක් බෝනස් එකක් බව සිතුවෙමු. ඒ අවස්ථාවේ දී වනිඳු සහ භානුක බලාපොරොත්තු සහගත ලෙස ඉනිම ගොඩනැගූ ආකාරය නර්තනයක් සේ රිද්යමානුකූල විය.
ඔවුන් ලකුණු 58ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
වනිඳු ලකුණු 36 ක් පන්දු 21 තුළ ලබන්නේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගිනි. ඉන් අනතුරුව භානුකට එක් වුණු චාමික කරුණාරත්න පන්දු 14ක දී එක් හයේ පහරක් සමග ලකුණු 14ක් ලැබීය. හත්වන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා අතර නොබිඳුණු ලකුණු 54ක සම්බන්ධතාවයක් ගොඩනැගුනි.
ගෞරවණීය ලකුණු සංඛ්‍යාවකි. පකිස්ථානය ලකුණු 171 ඉලක්කය හඹා යමින් සිටිති.
කාසියේ වාසිය හිමි වුණ කන්ඩායමට තරගයේ ජයග්‍රහණය ලැබීමේ සම්භාවිතාව ඉහළව තිබීමේ ස්වරූපයක් තරගාවලිය පුරාම දක්නට ලැබිණි.
පකිස්ථානය තරග වදින්නේ ඒ වාසියත් සමගිනි.







