ජාලිය වීරක්කොඩි –
-
යුද්ධයේ අමානුෂිකත්වයෙන් හෙම්බත් වූ ලෝකයකට ක්‍රීඩා පිටියක් මත යුද්ධයේ පාදඩ ප්‍රකාශන දකින්නට අවශ්‍යතාවයක් නැත…
“පැය 24ක් ඉන්න”
හෙට ඉන්දු පකිස්ථාන තරගයේ දී පකිස්ථාන කණ්ඩායමට අතට අත දීමේ ස්ථාවරය ගැන සූර්යකුමාර් යාදේව් කියන්නේ එවැන්නකි. ඔවුන් තවමත් හෙට තරගයේ දී පකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දීම සම්බන්ධව ස්වකීය ස්ථාවරය ප්‍රකාශ කර නැත. තරගයට පෙර පැවැත්වෙන පූර්ව තරග මාධ්‍ය හමුවේ දී ඔහු ලෝකය බලා සිටි එම පැනයට පිළිතුරු නොදී මගහැරියේය.
2025 ආසියානු කුසලානය අතරතුර ස්ථාපිත කරන ලද අතට අත දීමේ වර්ජනය දිගටම පවතිනු ඇත්දැයි තහවුරු කිරීමෙන් යාදව් වැළකී සිටින්නේ මේ තීරණය ඇත්තේ ඔහුගේ පාලනයට එපිටින් වන බැවිනි. දැනට පෙනෙන ආකාරයට අවසාන තීරණය ඇත්තේ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයටත් උඩිනි. ඉන්දීය රජයේ ඉහළ දේශපාලන නායකත්වය ලබා දෙන නියෝග ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය හරහා ක්‍රීඩකයින්ට ලැබීමට නියමිතය. ඒ අනුව ඔවුන් කටයුතු කරනු ඇත.
එහෙත් පකිස්ථාන නායක සල්මන් ආගා පවසන්නේ තම කණ්ඩායම ඉන්දියාව සමඟ අතට අත දීමට සූදානම් බවය. ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ක්‍රීඩාවේ ආත්මීය භාවයන් ආරක්ෂා කරගෙන ක්‍රීඩා කළ යුතු බව සල්මන් අලි ආගා කීවේය. ඔහු කීවේ ඉන්දියානු කණ්ඩායම සම්ප්‍රදායික අතට අත දීම සඳහා විවෘත බවය. හෙට පැවැත්වෙන පකිස්ථාන ඉන්දියා මහා තරගයට පෙර පූර්ව මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පකිස්ථාන නායකයා පැවසුවේ තීරණය අවසානයේ ඉන්දියාව සතු බවය.
“ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩාවේ ආත්මීය ගුණය රැකගෙන ක්‍රීඩා කළ යුතුයි. මගේ පෞද්ගලික මතය වැදගත් නෑ… නමුත් ඉතිහාසය පුරා ක්‍රිකට් ක්‍රීඩාව තුළ රැකගත් ගෞරවණීය සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ක්‍රීඩා කළ යුතුයි. කුමක් කළ යුතුද යන්න තීරණය කිරීම ඔවුන් සතුයි,” සලමන් අලි ආගා පැවසීය.
මෙම වසර මුලදී ඇති වූ අතට අත දීමේ මතභේදයේ පසුබිම තුළ මෙම අදහස් පළවෙමින් ඇත. අප්‍රේල් මාසයේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාව දෙපාර්ශ්වය අතර පැවති 2025 ආසියානු කුසලාන තරඟයේදී සම්ප්‍රදායික අතට අත දීම ප්‍රතික්ෂේප කළේය. කාසියේ වාසිය දිනා ගැනීමේදී, ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් අතට අත දීම ප්‍රතික්ෂේප කළ අතර, කණ්ඩායම් අදියර ජයග්රහණයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයින් කෙළින්ම ක්‍රීඩාගාරය වෙත ගියහ.
ආසියානු කුසලාන තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී, ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් අතට අත නොදෙන බවට තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් පකිස්ථාන නායකයාට කල්තියා දැනුම් දී එම සම්ප්‍රදායික ආචාර කිරීම වළක්වා තිබිණි. මෙම පියවරට දැඩි විරෝධය පළ කළ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB), පයික්‍රොෆ්ට් තරගාවලියෙන් ඉවත් කරන ලෙස ICC ආයතනයෙන් ඉල්ලා සිටි අතර, විරෝධය පෑමක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවැති මීළඟ තරගයට සහභාගී වීම පැයකින් ප්‍රමාද කළේය. පසුව PCB සභාපතිවරයා සහ තරග තීරකවරයා අතර පැවති සාකච්ඡාවකින් පසු එම නොසන්සුන්කාරී තත්ත්වය සමථයකට පත් විය.
තරගයෙන් පසු පැවති සම්මාන ප්රදානෝත්සවයේදී පකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්විගේ පැමිණීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායම වේදිකාවට පැමිණ සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය. මෙයින් කෝපයට පත් සභාපතිවරයා ජයග්‍රාහී කුසලානය වේදිකාවෙන් ඉවත් කිරීමට නියෝග කළ අතර, ඉන්දීය ක්‍රීඩකයින්ට නියමිත පදක්කම් හෝ කුසලානය එම අවස්ථාවේදී හිමි නොවීය. කෙසේ වෙතත්, පකිස්ථාන බලධාරීන් පිටව යන තෙක් රැඳී සිටි ඉන්දීය කණ්ඩායම, පසුව නැවතත් වේදිකාවට පැමිණ තනිවම සිය ජයග්‍රහණය සැමරීමට කටයුතු කළහ.
ඉන්දියා – පකිස්ථාන තරගවලදී අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවය පිරිමි කණ්ඩායමට පමණක් සීමා නොවී, 2025 කාන්තා එක්දින ලෝක කුසලානය සහ 19න් පහළ ආසියානු කුසලාන තරගාවලි දක්වාම ව්‍යාප්ත වූයේය. මෙම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ බරපතල විවේචනයට ලක් වුයේය.
එහෙත් විචාරකයින් පෙන්වා දෙන්නේ මේ නිහඬතාවයට ප්‍රධානතම හේතුව වන්නේ ‘අතට අත දීම’ යනු ක්‍රීඩාවේ පවතින සම්ප්රදායක් මිස අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු නීතියක් (Mandatory Rule) නොවීමය. ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යා යුතු බවට ICCය අවධාරණය කළද, ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වැනි ජාතික ක්‍රිකට් මණ්ඩල ගන්නා ප්‍රතිපත්තිමය තීරණවලට බලපෑම් කිරීමට හෝ ඒ වෙනුවෙන් දඬුවම් පැමිණවීමට තරම් නෛතික බලයක් ICC ට නැත.
කෙසේ වෙතත් ලෝක කුසලානයේ දී ඉන්දියාව සමග තරග කිරීමට පකිස්ථානය අයි.සී.සී වෙත කොන්දේසි තුනක් ඉදිරිපත් කළේය. ඒ අතර ‘අතට අත දීමේ’ සම්ප්රදාය අනිවාර්ය කිරීම ඇතුළු කොන්දේසි තුනක් ප්‍රධාන විය. කෙසේ වෙතත්, ලැබෙන වාර්තා අනුව ICC ආයතනය මෙම කොන්දේසි සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් අවධාරණය කර ඇත්තේ අතට අත දීම යනු සම්ප්රදායක් මිස බලහත්කාරයෙන් පැටවිය හැකි නීතියක් නොවන බවය. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද මෙතෙක් කිසිදු කොන්දේසියකට එකඟ වී නොමැති අතර, පකිස්ථාන කණ්ඩායම හෙට තරගයට සහභාගී වන්නේ ඔවුන්ගේ රජයෙන් ලැබුණු නියෝගයකට අනුවය. මේ අනුව හෙට තරගයේදී ක්‍රීඩකයින් අතට අත දෙනවාද නැද්ද යන්න පිළිබඳව පකිස්ථාන නායක සල්මන් අලි ආගා පවසන්නේ “හෙට දිනයේදී එය කුමක් වනු ඇත්දැයි බලා සිටිමු” යනුවෙනි.
අවසාන වශයෙන් කිව යුතු දෙයක් තිබේ. ‘ක්‍රීඩාවේ ආත්මය’ (Spirit of Cricket) ආරක්ෂා කිරීම ICCයේ වගකීම බව සැබැය. මේ අශිෂ්ට හැසිරීමේ පූර්ණ වගකීම එම මහත්මා ගුණය සහ ක්‍රීඩාවේ සැබෑම අරමුණ ප්‍රතික්ෂේප කරනා අර්ධ මනුෂ්‍යයන් සතුය. අපට කියන්නට ඇත්තේ මේ අප්‍රසන්න හැසිරීම දැන් හොඳටම ප්‍රමාණවත් බවය.
මක්නිසාද යත් යුද්ධයේ අමානුෂිකත්වයෙන් හෙම්බත් වූ ලෝකයකට ක්‍රීඩා පිටියක් මත යුද්ධයේ පාදඩ ප්‍රකාශන දකින්නට අවශ්‍යතාවයක් නැති බැවිනි.







