දිනසේන රතුගමගේ –
යාපනයේ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ නාගපට්ටන දක්වා යාත්‍රා කෙරෙන චෙරියපානී මගී නැවේ මගියෙකු ළග නීති විරෝධී රන් බිස්කට් තොගයක් ඇති බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (18) නැවේ සිටි සියළුම දෙනා බිමට බස්සවා පැය තුනක කාලයක් එම නැව පරීක්ෂාවට ලක් කරණ ලදී.
නාවික හමුදාව පොලීසිය හා රේගු නිලධාරීන් විසින් මෙම පරීක්ෂාව සිදු කළ අතර ඒ සඳහා නවීන යන්ත්‍ර සූත්‍රද පොලිස් නිල සුනඛයින්ද යොදා ගෙන තිබුණි.
මීට දින දෙකකට පෙර එම නෞකාවෙන්ම ඉන්දියාවේ සිට යාපනයට පමිණි ඉන්දීය ජාතිකයෙකු ළග මෙම රන් බිස්කට් ඇති බවට කිසියම් කෙනෙකු විසින් ආරක්ෂක අංශවලට ලබා දුන් ඔත්තුවකට අනුව එම පරීක්ෂා කිරීම සිදු කරණු ලැබීය.
පෙරවරු 11.30 ට කන්කසන්තුරේ වරායෙන් චෙරියපානි නෞකාව ඉන්දියාව බලා පිටත් වීමට නියමිතව තිබුණද නැව සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් කිරීම නිසා එම ගමන පැය තුනක පමණ කාලයකින් ප්‍රමාද විය.
නමුත් එම නැවේ තිබී කිසිදු සැකකටයුතු යමක් හෝ නීති විරෝධී දෙයක් හමු නොවීම නිසා නැව පිටත් කොට යැවීමට පියවර ගත් කන්කසන්තුරේ වරායේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් දැණුවත් කිරීමටද පියවර ගෙන තිබුණි.
චෙරියපානි නැව ඉන්දියාවේ නාගපට්ට්න වරායට ළගාවීමෙන් පසුව යළිත් වරක් එම නැව පූර්ණ පරික්ෂාවකට ලක් කොට තිබේ.







