ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම සඳහා රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධව සංඝ සභාවේදී සාකච්ඡා කර ජනපතිවරයා හා විෂය භාර ඇමැතිවරයා වෙත මහා සංඝරත්නයේ අදහස යොමු කරන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පැවසූහ.
ස්වභාෂා අයිතිය වෙනුවෙන් වූ නීති විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ සමාජික පිරිසක් ඊයේ (12) අස්ගිරි මහාවිහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහනාමියෝ මේ බව ප්‍රකාශ කළහ.
නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබෙන්නේ ඇයිද යන්න සොයා බලා ඒ පිළිබඳ සංඝ සභාව තුළත් සාකච්ඡා කර තීරණයක් ඉදිරියේදී දැනුම් දෙන බවද මහනාහිමියෝ පැවසූහ.
ශ්‍රී ලංකා නීති විද්‍යාලය 2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට ඉදිරියට ඇති විභාග ක්‍රමිකව ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට තීරණය කර තිබීම හේතුවෙන් උද්ගතවන ගැටලු සම්බන්ධව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දැනුවත් කිරීම සඳහා සකස් කළ ලියවිල්ලක් ද ස්වභාෂා අයිතිය වෙනුවෙන් වූ නීති විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ සභාපතිවරයා ඇතුළු පිරිස විසින් උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.
අදාළ තීරණය මගින් ස්වභාෂා අයිතිය උල්ලංඝනය වන්නේ යැයි ස්වභාෂා අයිතිය වෙනුවෙන් වූ සභාපති උදයංග කලන්සූරීය පැවසුවේය.
පළමු වසරේ දී විෂයන් තුනක් දෙවන වසරේ විෂයන් පහක් හා තුන්වන වසරේ දී සියලුම විෂයන් ලෙස ක්‍රමිකව විභාගය ඉංග්‍රීසියෙන් පමණක් පැවැත් වීමට නීති විද්‍යාලය තීරණය කර තිබෙන බවත් විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ප්‍රාථමික පංති වලදී ලබා නොදී එක්වරම විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත් වීම තුළින් ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලද සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව සභාපතිවරයා කීය.
විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් පාසැල් මට්ටමින් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීම ක්‍රමිකව වසර 10 ක් හෝ 15 ක් ගෙන ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ ඇමැතියරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.
ස්වභාෂායෙන් විභාග වලට පෙනී සිටීමට අවස්ථාව ලබාදීම තුළින් ග්‍රාමීය තරුණ තරුණියන්ට නීති විද්‍යාලයට පැමිණීමට තිබූ අවස්ථාව සැලකිය යුතු ලෙස පහත වැටෙන බවද නීති විද්‍යාර්ථීන්ගේ ස්වභාෂා එකමුතුවේ සභාපතිවරයා පැවසුවේය.
2020 දෙසැම්බර් මස 30 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් ක්‍රමනුකූලව නීති විද්‍යාලීය විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් කිරීමට පමණක් තීරණය කර තිබෙන බවද ඔහු කීය.
අදාළ ගැසට් පත්‍රයට අනුව 2025 වන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සම්පූර්ණ විභාග පැවැත්වීමට තීරණය කිරීම ස්වභාෂා අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරිමක් බවත් ග්‍රාමීය වශයෙන් නීති විද්‍යාලට තේරී පත්වන දරුවන් විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා නොමැති වීම තුළ ඔවුන්ට බරපතල අසාධාරණයක් සිදුවන බවත් කලන්සූරිය ප්‍රකාශ කළේය.
වසර 11 ක් වන පාසල් කාලය තුළ ඉංග්‍රීසි ඉගැන්වීම සම්බන්ධයෙන් රජයට කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොතිබියදී එක්වරම විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීම නිසා අනාගතයේ ග්‍රාමීය සිංහල බෞද්ධ දරුවන්ට නීතීඥවරයෙකු වීම සිහිනයක් පමණක්ම වනු ඇති බවද ඔහු කීය.
නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අවශ්‍යය නම් එය එක්වරම සිදු නොකර භාෂාවට අනුගත වීමට පාසල් වල 10 හා 11 ශ්‍රේනි වල සිටම යම් වැඩපිළිවෙළක් සකස් විය යුතු බව පෙන්වා දෙන ඔවුන් කොළඹ වෙසෙන ඉහළ පැලැන්තියට මෙය අසීරු නොවනු ඇති බවද සභාපතිවරයා පැවසුවේය.
අනාගතයේ නීති අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වීම මගින් විහාර හා දේවාලගම් පණත ඇතුළු සමස්ත නීති පද්ධති ඉංග්‍රීසියෙන් පමණක් ක්‍රියාත්මක වීම නිසා භික්ෂූන් වහන්සේලාට හා ග්‍රාමීය ජනතාවට නීතිය සමඟ අනවශ්‍යය පොර බැදීමකට යාමට සිදුවෙන බවද හෙතෙම අවධාරණය කළේය.







