MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න අද සවස 3 වනවිට ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබේ.
ඒ නැගෙනහිර මුහුදේ ගිනිගත් බව වාර්තා වූ මොහොතේ සිට පැය 79 කට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව ප්රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් අඛණ්ඩ ගිනි නිවීමේ මෙහෙයුම් හමුවේ ය.
මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්හදා බලන ලද Dry Chemical Powder (DCP) රසායනික මලු මගින් සාර්ථක ප්‍රථිපල අත් කර දෙන ලදි. ඒ අනුව ලබා ගත් ප්‍රථිපලය මත නෞකාවේ ගිනිදැල් නිකුත්වීම ඇනහිට ඇත.
මෙම තත්වය යටතේ ඉන්දීය නාවික හමුදා සහ ආපදා විශේෂඥ කණ්ඩායම් නෞකාවට ගොඩ වී එහි අභ්‍යන්තරය අධි තාක්ෂණික උපකරණ යොදා ගනිමින් පරීක්ෂා කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මේ වන විට නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුනද නෞකාවේ ඇතුලත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටී.
එමෙන්ම අද උදෑසන නෞකාවේ වාණිජ හා තාක්ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඔවුන් ඉදිරියේදී එම නෞකාවට සිදු වී ඇති ආපදාව පිළිබඳව තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔවුන්ගේ නිර්දේශ මත නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර තීරණය කෙරෙනු ඇත.
MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාව කුවෙට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් ප්‍රවාහනය කරමින් තිබියදී 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 8ට පමණ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමක් ඇතිවී ආපදාවකට පත්විය.
ඒ වනවිට නෞකාව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක දුරකින් යාත්‍රාකරමින් තිබූ අතර, එම නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක සිදු වූ පිපිරුමක් සමඟ මෙම ගින්න ඇතිව තිබුණි.
ජාත්‍යන්තර වශයෙන්ද විශේෂ අවධානයකට ලක් වූ මෙම ආපදා තත්වය ඉතා කෙටි කාලයක් තුලදී සාර්ථකව කළමණාකරනය කර ගැනීම තුළින් සිදු වීමට ඉඩ තිබූ අති විශාල සමුද්‍රීය පාරිසරික ව්‍යසනයක් වලක්වා ගැනීමට හැකි විය.
තවද, ඇති වූ හදිසි තත්වය මැඩපවත්වන ලද මෙම නෞකාව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවාගැනීම් කළාපයෙන් ඉවත්ව යන තුරු ශ්‍රී ලංකා නාවික හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දීම ඉදිරියටත් සිදු කරනු ලබයි.