සිය නිවසේ මත් පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා මත් පෙති ජාවාරමේ යෙදුන කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙක්, ඔහුගේ බිරිය සහ ජාවාරම සඳහා මත් පෙති සැපයූ ෆාමසි හිමිකරුවෙක් ඇතුළු තිදෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සහ බිරිඳ 35 හැවිරිදි වියේ පසුවන්නන්ය. ෆාමසි හිමිකරු වයස අවුරුදු 49ක පුද්ගලයෙකි.
බොරලැස්ගමුව බෙල්ලන්විල ජය මාවත ප්‍රදේශයේ තාවකාලික පදිංචි සිය නිවස තුළ මත් පෙති ගබඩා කරගෙන මෙම කොස්තාපල් සිදුකළ දීප ව්‍යාප්ත මත් පෙති ජාවාරම ගැන තොරතුරු අනාවරණය කරන්නේ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසිනි. එම ඒකකයට අදාල නිශ්චිත තොරතුර දැනුම් දෙන්නේ යුද හමුදා බුද්ධි අංශය ය.
එම නිවස තුළ ගබඩා කර තිබී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් සම්පූර්ණ මත් පෙති තොගය 1,330,420කි. . එහි වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවා යන බව විමර්ශන අංශ කියයි.
අත්අඩංගුවට ගත් කොස්තාපල් වසර 14ක කාලයක් කොහුවල පොලිසියට අනුයුක්තව සේවය කරන්නෙක් බව අනාවරණය වේ.
මත් පෙති සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම, එම වරදට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.







