-
නීති විරෝධීව ගෙන්වූ හමර් රථය රාජසන්තක කළ පසු තක්සේරු වටිනාකමට අඩුවෙන් ගෙන්වූ තැනැත්තාටම විකුණලා…
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද හමර් රථයක් රාජසන්තක කර අනතුරුව පැවති රජයේ වෙන්දේසියකින් පසු ටෙනඩර් පටිපාටිය උල්ලංඝණය කර නැවත ආනයනකරුට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
2022 පෙබරවාරි මාසයේදී Hummer රථය තවත් වාහන තුනක් සමඟ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.
එම වාහන රජයේ වත්කම් ලෙස ප්‍රකාශයට පත් කර පසුව වෙන්දේසි කර ඇති අතර එහිදී හමර් රථය ආනයනය කළ පුද්ගලයා විසින්ම එය මිලදී ගෙන තිබේ.
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ, හමර් රථයට අදාළ වෙන්දේසි ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි තොරතුරු රේගු දෙපාර්තමේන්තුවට ලබා දීමට නොහැකි වූ බවය.
වාහනයේ තක්සේරු මිල රුපියල් මිලියන 40ක් සේ සඳහන්ව තිබුණ ද එය දෙවන අවස්ථාවේ වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5කටය. එනම් තක්සේරු වටිනාකමින් 33.75%ක පාඩුවක් සහිතවය.
ශ්‍රී ලංකාවේ රේගු ආඥා පනත යටතේ ටෙන්ඩර් මණ්ඩලයට බලය ඇත්තේ තකසේරු වටිනාකමින් 10% කට නොඅඩු මුදලකට වෙන්දේසි කිරීමට පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජය ආදායම් වැඩිකර ගැනීමට අවධානය යොමු කර ඇති අවස්ථාවක මෙම ගනුදෙනුව හරහා ඇස්තමේන්තුගත මුදල ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.








