සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයාගේ සහ නියෝජ්‍ය ඇමතිවරයාගේ සියලුම පුද්ගලික ලේකම්වරුන් සහ සම්බන්ධීකරණ ලේකම් වරුන් සඳහා රජයේ කැබ් රථයක්, රජයෙන් වැටුප් ලබන රියදුරෙක් සහ ලීටර 213ක මාසික ඉන්ධන දීමනාවක් වෙන් කිරීමට එම අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරු 04 දෙනෙකුට, මාධ්‍ය ලේකම්වරයාට සහ පුද්ගලික ලේකම්වරු 02කට ලෙස පුද්ගලික කාර්ය මණ්ඩලයේ හත් දෙනා සඳහා කැබ් රථ 07ක් සහ මාසික ඉන්ධන ලීටර 1491ක්, රියදුරන් හතක් ජනතා බදු මුදලින් වෙන් කර තිබේ.
එමෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරු 03 දෙනෙක්, සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සහ මාධ්‍ය ලේකම්වරයා ලෙස පුද්ගලික කාර්ය මණ්ඩලයේ 05දෙනෙක් සඳහා කැබ් රථ 05ක්, රජයේ රියදුරෙක්, මාසිකව ඉන්ධන ලීට 1065ක් ජනතා බදු මුදලින් වෙන් කරගෙන ඇත.
මෙම වාහන ඉන්ධන දීමනාව පසුගිය දෙසැම්බර් මස සිට වෙන් කර දී තිබේ. පුද්ගලික කාර්යමණ්ඩලයෙන් කාර්යක්ෂම සේවයක් ලබා ගැනීම සඳහා වාහන ඉන්ධන, රියදුරු, ඇතුළු වෙනත් දීමනා ලබා දීම කළ යුතු වුවද නලින්ද ජයතිස්ස ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පැමිණෙන්නේ අන්තගාමී සහ දේවේශ සහගත ලෙස මෙම දීමනා ලැබූ පසුගිය ආණ්ඩුවල පිරිස් විවේචනයට ලක් කරමින් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ බලයට පැමිණි මුල් අවස්ථාවේම ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගෝල් ෆේස් පිටියේ නවත්වා ප්‍රදර්ශනය කරමින් ජාතික ජන බලවේග ආණ්ඩුව වාහන භාවිතය විෂයෙහි කටයුතු කරන ආකාරය සම්බන්ධව අටෝරාසියක් කථා කී සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස විසින්ම මේ හැසිරීම ප්‍රකට කිරීම දෛවයේ සරදමක් බවය.







