දිනසේන රතුගමගේ –
රටේ පවත්නා නීතියට අනුව දෙමළ දේශපාලන සිරකරුවන් යනුවෙන් පිරිසක් නොමැති බවත් දැනට අත් අඩංගුවේ සිටින පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් පිරිසක් පමණක් බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රී ඊයේ ( 30 ) යාපනයේදී පැවසීය.
අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටින උතුරේ තවත් දේශපාලන සිරකරුවන් 27 දෙනෙකු ඉතා ඉක්මනින්ම නිදහස් කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවය.
යාපනයට පැමිණි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් පිරිසක් විසින් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට මේ දිනවලදී කටයුතු කරගෙන යන බවය. ඉදිරි කාලයේදී එම පනත මුලුමනින්ම වෙනස් කිරීමටත් පියවර ගනු ඇතැයි ද ඔහු කීවේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලුමනින්ම වෙනස් වීමෙන් පසුව ඉතිරි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසටද ඉතා ඉක්මනින්ම නිදහස ලැබෙන බව කී අමාත්‍යවරයා මේ පනතේ කිසිම සංශෝධනයක් නොතිබූ මොහොතක පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් උතුරේ දේශපාලන සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කිරීමට හැකි වූ බවද කියා සිටියේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මත අත් අඩංගුවට ගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා සලකා බැලීමට ජනාධිපතිවරයා විසින් හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට ඇති බවද මෙහිදි අධිකරණ අමාත්‍යවරායා පැවසීය.
එම කමිටුවට නිදහස් කළ යුතු දේශපාලන සිරකරුවන් 44 දෙනෙකුගේ අයදුම් පත් ලැබී ඇති බවත් ඔවුන් අතරින් 27 දෙනෙකු නිදහස් කිරීමට නිර්දේශයන් ලැබී ඇති නිසා ඉතා ඉක්මනින් නුදුරු කාලයේදී ඔවුන්ට නිදහස ලැබෙනු ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.







