මරණීය දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්දගේ අනියම් බිරිය බව කියන කාන්තාවක් ඩුබායි සිට මහනුවර හා ඒ අවට ප්‍රදේශවල මෙහෙයවූ මත්ද්‍රව්‍යය ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත් වී තිබේ.
ලැබුණු තොරතුරකට අනුව කළ මෙහෙයුමක දී මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් හෙරෝයින් ග්‍රෑම් 901 ක් සමඟ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
අදාළ කාන්තාව සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් පස් දෙනෙකු සැකකරුවන් අතර සිටින බවත් සෙසු පිරිස ඔවුන්ගේ ගෝලයින් බවත් පොලීසිය පවසයි.
හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් එකක් රුපියල් 20000.00 ක මුදලට මොවුන් අළෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. ඩුබායි හි සිටින කාන්තාවගේ බැංකු ගිණුමට මුදල් බැරකළ පසු ඇය විසින් ප්‍රධාන ගෝලයින් පස් දෙනාගෙන් කෙනෙකුට මත්ද්‍රව්‍යය තැබිය යුතු ස්ථාන දැනුම් දෙන බවත් ඒ අනුව නගරයේ විදුලි කණු, කුණු බක්කි, කාණු ආදි ස්ථාන වල ඒවා ස්ථානගත කර ගැනුම් කරුවන්ට දැනුම් දෙන බවත් හෙළි වුණ බව මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විතානගමගේ පැවසීය.
![](http://lankasara.com/wp-content/uploads/2022/03/Untitled-5-2.jpg)
මෙම සැක කරුවන්ද මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් බවත්, කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස මෙම මත්කුඩු ජාවාරම සිදුකර තිබෙන බවත් පවසන පොලිසිය සැකකරුවන් දිනකට රුපියල් 20000.00 සිට 60000.00 ක පමණ මුදලක් වැයකර මත්ද්‍රව්‍යය පානය කර තිබෙන බව හෙළි වී ඇතැයි පවසයි.
මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ කළ විමර්ශනයකින් පසු මහනුවර පොලිස් විශේෂ කාර්යාංශයේ හා පොලිස් මත්ද්‍රව්‍යය කාර්යාංශයේද සහය ලබා ගනිමින් මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අදාළ වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් පස්දෙනාගේ ගිණුම් වල රුපියල් ලක්ෂ ගණනින් මුදල් තිබෙන බව මේවන විට අනාවරණය වී ඇත.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විතාන ගමගේ ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක දසනායක, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන 6588 දිසානායක, 64803 කපිලරත්න, කාන්තා පොලිස් සැරයන් 3818 මංජුලා, පොලිස් කොස්තාපල්වරුන් වන 37661 වික්‍රමසිංහ, 35483 යාපා බණ්ඩාර, 74182 තරංග, 87865 කණිෂ්ක, 93406 ඒකනායක, 96319 බණ්ඩාර යන නිලධාරීන් වැටලීම සිදුකර ඇත.