රංජිත් රාජපක්ෂ –
ඒකාබද්ධ විපක්ෂය මේ මස 21 දින කොළඹදී පැවැත්වීමට සැළසුම්කර ඇති රැලියට දමිළ ප්රගතිශීලි සංධානය සහය නොදැක්වීමට තීරණය කල බව දමිළ ප්රගතිශීලි සංධානයේ නියොජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු පලනි දිගම්බරම් පැවසීය.
අද (16) දින හැටන් නගරයෙදි මාධ්‍ය හමුවක් පවත්වමින් දිගම්බරම් ඒ බැව් පැවසීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් කියා සිටියේ, ඉතිහාසයේ කවර දිනක හෝ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකළ බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක එවැනි තිරණයකට එළඔ වතුකම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කිරිමට ගත් තීරණයට තමන් ස්තූතිවන්ත වන බවත් ය.
එම ජනතාවගේ ගැටලු විසඳීමට රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම වතුකරයේ ජනතාව වෙනුවෙන් දමිළ ප්රගතිශීලි සංධානයේ පූර්ණ සහයොගය ලබා දෙන බවද පලනි දිගම්බරම් පැවසීය.
රජයේ වැටුප් වැඩි කිරිමත් සමග වතු කම්කරුවන් වතුකරය නියෝජනය කරන දමිළ දේශපාලඥයන්ව ප්‍රතික්ෂේප කර ඇති බවට මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කළද එය රජයේ ඇතැම් පාර්ශවයකගේ සැළසුම් සහගත ක්‍රියාවක් බව පලනි දිගම්බරම් කියා සිටියේය.
වතු කම්කරුවන් ඔනෑම වේලාවක වෙනස්විය හැකි ජනතාවක් බවත්, මේ රටේ යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ ආපසු ගෙදර යැවීමට කටයුතු කළ රටේ බහුතර ජනතාවට වත්මන් රජය වූවත් ඕනෑම වේලාවක ගෙදර යැවිය හැකි බවත් අවධානයට ගෙන කටයුතු කරන ලෙස ද ඔහු රජයට දන්වා සිටියේය.







