ආන්දෝලනයට තුඩු දී ඇති දාරළුවේ කෘඩියා සෙලනිකා ශාකය මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කපා ඉවත් කිරීමට කිසිසේත් සූදානමක් නොමැති බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.
එහි ලේකම් ආර් ඩබ්ලිව් ආර් ප්‍රේමසිරි පැවසුවේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ සැලසුම මේ කාරණාව මුල්කරගෙන වෙනස් කිරීම අසීරු නමුත් මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙන බවය.
සැලසුම වෙනස් කරන්නේ නම් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 02 ක පමණ කොටසක වෙනස්කම් සිදු කිරීමට වන බවයි ඔහු පෙන්වා දුන්නේය. අදාළ ස්ථානයේ එක් පසෙක දුම්රිය මාර්ගය පිහිටා තිබීම සහ එම මාර්ග කොටස කණු මත ඉදි කිරීමට සිදුවීම හේතුවෙන් සැලසුම් වෙනස් කිරීම වඩාත් අසීරු වී ඇති බව ද ලේකම්වරයා කීවේය.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සහ තවත් ආයතන ගණනාවක් සමග මේ සම්බන්ධයෙන් දැනට සාකච්ඡා පවත්වා ඇති බව ද මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය හමුවේ කියා සිටියේය .
විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ අදාළ ගස වෙනත් ස්ථානයක සිටුවීමට විරුද්ධත්වයක් නොමැති බව එම සාකච්ඡාවලදී ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.







