දිනසේන රතුගමගේ –
යාපනයේ ඉරුපාලෙයි ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය ළමා නිවාසයේ කළමනාකාරවරයා ඇතුලු සැකකරුවන් තුන් දෙනා අප්‍රේල් මස 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඊයේ ( 4 ) නියෝග කොට තිබේ.
ආගමික ස්ථානයක් කේන්ද්‍ර කරගෙන පවත්වා ගෙන ගිය මෙම ළමා නිවාසයේ ළමයින් 16 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ට සිදුවන ලිංගික අතවර හා වෙනත් හිරිහැර නිසා ළමයින් තුන් දෙනෙකු ළමා නිවාසයෙන් පැන ගොස් පොලීසියට කරණ ලද ප්‍රකාශයකින් පසුව එම ළමා නිවාසය පොලීසිය විසින් වටලා එහි කළමනාකාරවරයා පාලිකාව හා කෝකියෙකු අත් අඩංගුවට ගෙන තිබිණි.
මෙම ළමා නිවාසයේ සිටියදී පොලීසිය හා ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ළමයින් 13 දෙනෙකු බේරා ගෙන තිබූ අතර අධිකරණ නියෝගයක් මත එම ළමයින් පිරිස කිළිනොච්චියේ ක්‍රියාත්මක රජයේ ළමා නිවාස දෙකක් වෙත යොමු කොට තිබේ.
මෙම ළමා නිවාසයේ දරුවන්ට ලිංගික අතවර සිදුව ඇති බවට ළමයින් පොලීසියට කරණ ලද ප්‍රකාශයක් නිසා ඔවුන්ව වෛද්‍ය පරික්ෂණයකට ලක් කොට තිබේ.
මෙම ළමයින් යොදාගෙන ආගමක් පතුරුවා හැරීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්ක වෙමින් පැවති බවට පොලීසියට හා ළමා ආරක්ෂණ නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.
අප්‍රේල් මස 18 වෙනිදා ළමා නිවාසයේ තත්ත්වය හා දරුවන් පිළිබඳව වූ වෛද්‍ය වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







