ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හදිසි අත්අඩංගුවට ගැනීම් සිදුනොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා සදහන් කරයි .
එම පනත යටතේ එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්නේ නම් නිසි ලෙස කරුණු සොයා බලා අදාල විමර්ශනවලින් පසු එම පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා විසින් පොලිසියට දැනුම්දී ඇති බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවති හමුවකදීය .
මෙම හමුව පසුගිය අඟහරුවාදා විදේශ අමාත්‍යාංශයේ දී සිදුව ඇති අතර එහිදී විදේශ අමාත්‍යවරයා හමුවූ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සහ සමාජ ක්‍රියාකාරී පුද්ගලයන්, පොලිසිය විසින් සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම්වලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කිරීමට කටයුතු කිරීම මගින් පුද්ගලයන් විශාල ලෙස අපහසුතාවන්ට ලක්වන බව සඳහන් කර ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ප්‍රකාශ කර ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයාගෙන් ලද උපදෙස් පිළිබඳව අමාත්‍යවරයා විසින් ඔවුන් වෙත දැනුවත් කර ඇති බව සඳහන් වේ.
කෙසේ වුවද ලබන සතියේ ජිනීවාහි ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය පැවැත්වීමට නියමිත අතර එහිදී ද ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ විවේචනාත්මක අදහස් පළ වනු ඇති බවට වාර්තා වේ.
ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාවට එවන ලද එවන ලද වාර්තාවේ ද විවේචනාත්මක අදහස් සඳහන් වේ.
කෙසේ වුවද විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමෙන් ඊට අදාළව පවතින දුර්වලතා මගහරවා ගත හැකි වනු ඇති බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් සකස් කිරීමට තවත් කාලයක් ගත වනු ඇති බවත් ඊටත් වඩා ඉක්මනින් මේ පවතින අඩුපාඩු සකස් කර සංශෝධනයට ලක් කිරීම පහසු බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇති බව ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක දැක්වේ.







