ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇෆ්ලා ටොකසීන් අඩංගු බව කී ප්‍රකාශය සමාජයක් බියකරන නින්දාසහගත බොරුවක් බවත් එම ප්‍රකාශ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට මේ වනවිටත් අවතීර්ණ වී ඇති බවත් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද (21) පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න විසින් පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් ඇෆ්ලාටොක්සීන් සහිත ත්‍රිපෝෂ බෙදා ඇති බවත් එම ත්‍රිපෝෂ දැන් යළි එකතුකරමින් ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කළ ප්‍රකාශයක් සහිත පුවත්පත් වාර්තාවක් පාර්ලිමේන්තුවේ දි මතු කළ අවස්ථාවේ දී ය.
“මා වගකීමක් ඇතිව කියනවා ඔය කතාව අමූලික බොරුවක් කියලා. පුවත් පත් හෙඩින්වල බොරු නිවුස් දාලා ඇතුලෙ පිටුවක ගිනි පෙට්ටියක ඉඩක බොරුව ගැන කණගාටුව ප්‍රකාශ කරනවා. ඕක තමයි මාධ්‍ය නිදහස.
මේ ප්‍රකාශය සම්බන්ධව මා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේක අසාධාරණ කතාවක්. ඇෆ්ලාටොක්සීන් තියනවා කියලා පිලිකාකාරක තියනවා කියලා සමාජයක් බයගන්වමින් නින්දිත ආකාරයෙන් මේ අය දේශපාලනය කරනවා.
ආයතන සංග්‍රහය අනුව එවැනි ප්‍රකාශයක් කරන්න නම් ලේකම් තුමාගෙන් අවසරයක් ගන්න ඕන. මේ විදිහට රටේ ප්‍රශ්න මවලා දේශපාලන ව්‍යෘපෘති කරනවා නම් ඒකට ගත යුතු ඉහළම ක්‍රියාමාර්ග ගන්න මා පසුබට වෙන්නේ නෑ. ත්‍රිපෝෂවල ඇෆ්ලා ටොක්සීන් අඩංගුවීම ගැන උපුල් රෝහණ කළ මේ ප්‍රකාශය සම්බන්ධව මා දැනටම ඔහුගෙන් ප්‍රශ්න කර තියනවා මොන විද්‍යාත්මක පදනමක් මතද එය කිව්වෙ කියලා.







