සූරියවැව නුවන් ජයසේකර –
තණමල්විල ජාතික පාසලේ දැරියක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට අදාල නඩු විභාගය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේදි යළි කැදවු අතර එහිදි දැනට අත්අඩංගුවේ පසුවන 18 දෙනාගෙන් කාන්තාවක ඇතුළු සිසුන් තිදෙනෙකු ලබන මස 05 දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, ඉතිරි සිසුන් 14 දෙනා එම දිනය දක්වා යලි බණ්ඩාරවෙල සුරක්ෂා මධ්‍යස්ථානයේ රඳවා තැබීමටත් වැල්ලවාය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුර ඒ දිසානායක අද (22) නියොග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ තණමල්විල දැරිය සමුහ දූෂණයට ලක් කිරීම සඳහා නිවස ලබා දෙමින් ඊට ආධාර අනුබල දුන් 39 හැවිරිදි කාන්තාවක හා සිසුන් තිදෙනෙකුත් සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ප්‍රකාශ මත තණමල්විල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි ඉතිරි සිසුන් 14 දෙනාත්ය.
නඩු විභාගය සඳහා මෙම සිදුවිම වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලබා සිටි විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා හා ගුරුවරියන් දෙදෙනාද අධිකරණය හමුවේ පෙනි සිටි අතර ඔවුන්ද යළි ලබන මස 05 වන දින අධිකරණයේ පෙනි සිටිය යුතු බවට නියම කෙරුණි.
සැකකාර සිසුන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට කාන්තා සංවිධාන කිහිපයක නියෝජිතයින් විසින් නිහඩ විරෝධතාවයකද නිරත වු අතර එහිදි සැකකාර එක් සිසුවෙකුගේ පියෙකු බව කියන පුද්ගලයෙකු විසින් විරෝධතාවයේ නිරත කාන්තාවන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් බාධාකර තිබේ.

එම අවස්ථාව ආවරණය කිරිමට ගොස් සිටි මාධ්‍යෙව්දින්ටද එම පුද්ගලයා තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වැදි ඇත.
පොලිස් නිළධාරීන්ද එහි රාජකාරියේ යෙදි සිටියදි මෙම පුද්ගලයා මෙලස හැසිරි තිබේ. කෙසේ වෙතත් පසුව පොලිසිය මැදහත්ව එම පුද්ගලයා අල්ලා ගැනීමට යාමේදි ඔහු අධිකරණය ඉදිරිපිටින් ඉවත්ව ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







