-
නාවික හමුදාවේ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්වලට බියෙන් මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අත් හැර ගිහින්… ගෙනාපු බෝට්ටු සොයනවා… නාවික හමුදාවෙන් ප්‍රකාශයක්!
ඊයේ දිනයේදී නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය දින 31ක මෙහෙයුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කරයි.
“පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව නාවික හමුදාව සමග එක්ව මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ. මේ මත්ද්‍රව්‍ය තොගය ධීවර බෝට්ටු දෙකකින් අරන් ඇවිල්ලා තියෙන්නේ. දවස් 31ක් තිස්සේ මේ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකරනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.
බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් බීබීසී සිංහල සේවය වෙත පවසා ඇත්තේ නාවික හමුදාව අඛණ්ඩව සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අතහැර දමා ගොස් තිබෙන බවය.
“නාවික හමුදාව අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සිදුකරන නිසා මේ මත්ද්‍රව්‍ය මුහුදේ අත්හැර දමලා යන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ මත්ද්‍රව්‍ය නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීලා තියෙනවා. මත්ද්‍රව්‍ය අරන් ආව යාත්‍රා ගැන අපි වැඩිදුර සොයා බැලීම් සිදුකරනවා.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය මේ ලෙස නාවික හමුදා භාරයට පත් වුන මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 839කි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ඊයේ (ඔක්තෝම්බර් මස 14) දිනය පුරා දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී නාවික හමුදාවේ මුර යාත්‍රා මගින් මෙම මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 51 සොයා ගත් බවය.
එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් තිබී හමුවූ බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.







