මානව හිමිකම් යන්න ආයුධයක් කරගනිමින් බටහිර රටවල් විසින් ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී කුමන ආකාරයේ බලපෑම් එල්ල කළද රටේ ස්වෛරීභාවය හා ව්‍යවස්ථාව කිසිඳු ලෙසකින් පාවා නොදෙන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි. ජගත් මානව හිමිකම් කවුන්සලයේ 51 වැනි සැසිවාරයට සහභාගි වී සිටින විදේශ ඇමැතිවරයා එම සැසිවාරය අතරතුර ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සමග මෙම මාධ්‍ය හමුවට එක්විය.
ජගත් මානව හිමකම් කවුන්සලයේ 51 සැසිවාරය සඳහා බලවත් රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවේ ප්‍රතිඵලය කුමක් වුවද රටේ අනන්‍යතාවය පාවා නොදෙන බවත් අදාළ යෝජනාව තුළ ශ්‍රී ලංකාවට අහිතකර වගන්ති පැවතීම හේතුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවද අලී සබ්රි ඇමතිවරයා කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ ඇමැතිවරයා පෙන්වා දුන්නේ බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් එම යාන්ත්‍රණය හරහා යුද විරුවන් ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙනයාම සඳහා උත්සාහ කරන බවත්ය.
බටහිර රටවල් ඉදිරිපත් කර තිබෙන අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව පෙන්වාදුන් ඇමැතිවරයා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කුමක් කළද ඇතැම් ඩයස්පෝරා සංවිධාන සෑහීමට පත්නොවන බවද ඔවුන් වෙනම දේශපාලන කණ්ඩායම් ලෙස සංවිධාන ගතවී ඔවුන්ගේ දේශපාලන හයිය පෙන්නුම් කරන බවද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ දැඩි විරුද්ධත්වය මැද ඔවුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව පෙන්වාදුන් අලී සබ්රි මහතා බටහිර රටවල් සහ පක්ෂපාතී රටවල් දෙකක් එක්වී ඔවුන් ශ්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කරන අතර ඔවුන් උත්සාහ කරන්නේ යුද ජයග්‍රහණයට සම්බන්ධ වූ රණවිරුවන් යුද අධිකරණය ඉදිරියට ගෙනයාමට බවත් එවැනි තත්ත්වයන්ට කිසි විටෙකත් එකඟ විය නොහැකි බවත් ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද කීවේය,
“ජිනීවා සමුළුවට මේ වනවිට ශ්‍රී ලංකාවට එරෙහිව බලගතු රටවල් කණ්ඩායමක් එකතු වී යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. විවිධ කාලවල ලංකාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. දේශීය යාන්ත්‍රණයක් තුළින් අදාළ යෝජනා සඳහා පිළිතුරු ලබාදීමට උත්සාහ කළත් ඇතැම් රටවල් ඒ සම්බන්ධයෙන් සෑහීමට පත්වන්නේ නැහැ. පසුගිය 2009 වසරේ යුද ජයග්රහණයෙන් පසුව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 12,194 දෙනෙකු පුනරුතථාපනය කොට සමාජ ගත කරන්න ශ්‍රී ලංකා රජය සමත්ව තිබෙනවා. ඔවුන් ඉල්ලා ඇත්තේ ආර්ථික වශයෙන් උදව් කරන්න කියලයි. ශ්‍රී ලකාවේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන්න හමුදා සාමාජිකයන් 25000 ක් පමණ ජීවිත පූජාකර තිබෙනවා. ඒ වගේම ඉන්දියන් හමුදාවේ 1000 ක් පමණ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ වගේම හමුදාවේ ප්‍රයෝජනයට ගත් සිවිල් වැසියන්ගේ ඉඩම්වලින් සියයට 94 ක් පමණ අද වනවිට මුල් පදිංචිකරුවන්ටම ලබාදී තිබෙනවා.
එක්සත් රාජධානිය සහ කැනඩාව ප්රමුඛ බටහිර රටවල දෙමල ඩයස්පෝරාව මෙවැන්නකින් සෑහීමට පත් නොවී ඔවුන්ගේ දේශපාලන හයිය උපයෝගී කරගෙන අපේ රටට විරුද්ධව කටයුතු කරනවා. මෙවර 51 වැනි සැසිවරාය වෙනුවෙන් ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එම යෝජනාව සම්බන්ධයෙන් සමුළුව තුළ කුමක් සිදුවුවත්, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කිසි ලෙසකින් පාවාදීමක් සිදුකිරීමට අප කටයුතු කරන්නේ නැහැ. මේ ගෙන එන ලද යෝජනා වල ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි බොහෝ කරුණු තිබෙනවා. එහි 8 වැනි වගන්තිය කිසිසේත් එකඟ වන්න බැහැ. අපි සම්පූර්ණයෙන්ම ඊට විරුද්ධයි. ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට කිසිදු රටකට යා නොහැකි අයුරින් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. යුද්ධය අවස්ථාව සම්බන්ධයෙන් වෙනත් රටවල නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් අපට එකඟ වෙන්න බැහැ. අපේ රණවිරුවන් ඉලක්ක කර ගෙන මෙවැනි යෝජනා ගෙන එනවා.
එයින් සිදුවන්නේ රණවිරුවන් අනත්ර්ජාතික මට්ටමේ අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීම හෝ විදෙස් විනිසුරුවන් ශ්‍රී ලංකාවට පැමිණීමයි. එඑවැන්නකට එකඟ වන්න බැහැ. ජගත් මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් 47ක් සිටිනවා. පසුගිය කාලයේ රටවල් 38ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළා. නමුත් එම රටවලින් සියලු දෙනාටම ඡන්ද අයිතිය නැහැ. නමුත් ඔවුන් එකතු වෙලා අපිට සහාය දක්වන බව සදහන් කළා. නමුත් බටහිර රටවල දේශපාලන ශක්තිය ඉතා බලවත්. නමුත් අපි තේරුම් ගතයුතු කරුණක් තිබෙනවා. මේක අපේ රජයකට විරුද්ධව හෝ රාජ්‍ය නායකත්වයට විරුද්ධව ගෙන එන යෝජනාවක් නොවෙයි. පසුගිය 2009 වසරේ සිට කවුරු බලයේ සිටියත් කුමන ආණ්ඩුවක් රට පාලනය කළත් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එය සමස්ත රටටම එකසේ බලපානවා. කෙසේ නමුත් අපි හැම අවස්ථාවකම අපේ ස්ථාවරය ආරක්ෂා කර ගන්න කටයුතු කරනවා.
ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ වත් එහිදී සාකච්ඡා වෙලා තිබෙනවා. ආර්ථිකයට යම්කිසි කෙනෙක් බලපෑමක් සිදුකර තිබෙනවා නම් ඊට නීතිය ක්‍රියාත්මක වෙන බව අපි දන්නවා. ආර්ථිකය හැකියාව තියෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටයි. මානව හිමිකම් කොමිසමට ආර්ථික විශේෂඥයන් නෑ. ඒ නිසයි අපි මේ යෝජනා මාලාවට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ. මෙහෙම ගියොත් ඉස්සරහට ක්‍රිකට් ප්රශ්නය ජිනිවා මානව හිමිකම් කවුන්සලයට එන්න බැරි කමක් නෑ. ඒ නිසා මේ යෝජනා මාලාවට ප්‍රතිපත්තියක් හැටියට අපි විරුද්ධයි. අපි තානාපති කාර්යාල මට්ටමින් මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. තානාපතිවරු මට්ටමෙන් රාජ්‍ය මට්ටමෙන් බලපෑම් තිබෙනවා. අපට ඡන්ද දීමට සිටින රටවල් පසුපස ගොස් මෙම යෝජනාවට පක්ෂපාතී වන්නැයි පවසා තිඛෙනවා.
ඒ නිසා මෙවර ඡන්දය දී ගියවර ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද අඩුවීමක් සිදුවෙන්න පුළුවන්. සේනානායක මැදිහත් වීමට අවස්ථාව නොදී සත්‍ය සොයා යෑමට වගවීමක් ශ්‍රී ලංකා රජයට තියෙනවා. පීඩාවට පත්වෙලා වින්දිතයෝ ඉන්නවනම් ඔවුන්ට සහන සැලසීම රජයක් වශයෙන් අපි කළ යුතුයි. ඒ නිසා සත්‍ය සොයා යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සත්‍ය සොයා යාමේ යාන්ත්‍රණයක් සකස් කරන්න ලක් රජයට පුළුවන්. උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොම්සන් සභාව සහ පරණගම කොමිසම මඟින් ද ඒ සම්බන්ධයෙන් පවසා තිබෙනවා. මේ තත්ත්වය තළ සත්‍ය සොයා යාමේ යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කළයුතු වෙනවා. නමුත් එක සමාජයකට එක ජන කොට්ඨාශයකට විරුද්ධ ව නොවෙයි මේ සිදුවන සිදුවීම් සිදු වෙන්නේ. අපිට චෝදනා කරන අයටත් එම යාන්ත්‍රණය පෙන්වා දී චෝදනාවෙන් නිදහස් වෙන්නත් අවස්ථාව අපට තියනවා. මේක රජය වෙනස් වුණා කියලා හෝ පාලකයා වෙනස් වුනා කියල වෙනස් වෙන්නේ නෑ. මොවුන් මානව හිමිකම් කියන ආයුධය පාවිච්චි කරලා සදාකල් අපිව හිරකර තැබීමට දරන උත්සාහයක් මේක” යැයි පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති සී.ඒ චන්ද්‍රප්‍රේම ද මේ අවසථාවට එක්විය.







