ටී 56 ජීව උණ්ඩයක් සහ හිස් පතොරොම් කොපු දෙකක් රැගෙන මහනුවර දළදා පෙරහර බැලීමට පැමිණි කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක පළමු පෙළ රගර් කණ්ඩායම නියෝජනය කරන 18 හැවිරිදි සිසුවෙක් මහනුවර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ සිසුවා සමග සිටිය දී ටී 56 ජීව උණ්ඩ දෙකක් සමග යුද හමුදා සෙබලෙක් ද අත් අඩංගුවට ගෙන ඇත. මහනුවර පත්තිනි දේවාලය අසලින් ශ්‍රී දළදා මාළිගාව වෙත ඇතුළු වීමට උත්සාහ කරද්දී එම ස්ථානයේ සවිකර ඇති ආරක්ෂක ස්කෑනර් යන්ත්‍රය මෙම ජීව උණ්ඩ හඳුනාගෙන තිබේ.
තමන් දින 02 ක නිවාඩුවක් ලබාගෙන රුවන්වැල්ල නිවස කරා යන අතරතුර පෙරහර බැලීමට සිතා දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු වූ බව හමුදා සෙබලා පවසා ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ බෑගයේ ජීව උණ්ඩ දෙකක් තිබෙන බව තමන් දැන නොසිටි බවය.
අත්අඩංගුවට ගත් පාසැල් සිසුවා කොළඹ මොහන්දිරම් පටුමගේ පදිංචිකරුවෙකි.
මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය කියයි. වැඩිදුර විමර්ශන මහනුවර පොලීසිය විසින් පවත්වයි.







