දිනසේන රතුගමගේ –
තම ”ටික් – ටොක්” පෙම්වතාට යතුරු පැදියක් මිලදී ගැනීමට යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ නිවෙස් කීපයකින් රන් භාණ්ඩ සොරකම් කරණ ලද තරුණියක් ඇතුලු හත් දෙනෙකු චාවාකච්චේරී පොලීසිය විසින් ඊයේ ( 29 ) අත් අඩංගුවට ගෙන තිබේ.
”ටික් -ටොක් ” මගින් හදුණා ගත් තම පෙම්වතා කාලයත් සමග ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන් දෙදෙනාට ඇවිදීම පිණිස යතුරු පැදියක් නොමැතිකම විශාල බාධාවක් බවයි.
මේ ගැන දුක් වූ යාපනයේ තරුණිය අවට නිවෙස් වලින් රන් භාණ්ඩ සොරකම් කොට සිය පෙම්වතාට නවීන පන්නයේ යතුරු පැදියක් මිලදී ගෙන පරිත්‍යාග කොට තිබේ.

ඇය නිවෙස් වලින් සොරකම් කොට ඇති රන් භාණ්ඩ ප්‍රමාණය පවුම් 19 කි. මේ සඳහා එම තරුණිය තවත් කීප දෙනෙකුගේද සහය ලබා ගෙන තිබේ.
විදෙස් රටක සිට නිවාඩුවක් ගත කිරීමට පැමිණ සිටි තරුණයෙකුගේ රන් භාණ්ඩ කීපයක් අතුරුදහන් වීමත් සමගම ඔහු මේ බව යාපනයේ චාවාකච්චේරී පොලීසියට පැමිණිලි කොට තිබේ.
එම පැමිණිල්ල මත පරීක්ෂණ මෙහෙයවන ලද නිලධාරීන්ට මුලින්ම එක් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සියලු තොරතුරු හෙළි වී ඇති අතර මේ වන විට පෙම්වතාද පෙම්වතියද ඔවුන් මිලට ගත් යතුරු පැදියද සොරකම්වලට උදව් කළ පිරිසද රන් භාණ්ඩ මිලට ගත් පිරිසද වශයෙන් හත් දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි.
සැකකරුවන්ව චාවාකච්චේරී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට චාවාකච්චේරී පොලීසිය පියවර ගෙන තිබේ.







