ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ශල්‍යාගාරය තුළ පවතින C – Arm x කිරණ යන්ත්‍රය අක්‍රීය තතත්වයට පත්විම හේතුවෙන් හදිසි අනතුරුවල ලක්ව ඇතුළත් කරන රෝගීන්ගේ සැත්කම් සිදුකිරිම දින ගණනාවකින් ප්‍රමාද වී අතැයි ද ඒ හේතුවෙන් රෝගීන් බිහිසුණු පීඩාවකට පත්ව ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම යන්ත්‍රය අක්‍රීය වී මාස දෙකක පමණ කාලයක් ගතවන නමුත් එය යථා තත්ත්වයට පත්කිරීමට බලධාරීන් උත්සහ නොකරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
හදිසි අනතුරුවලට ලක්ව ඇතුළත් කරන රෝගින් හදිසි අනතුරු අංශයේ ශල්‍යාගාරයේදී සැත්කම්වලට ලක්කිරිමේදී හා අස්ථී බිදීමකදි එය යථා තත්ත්වයට පත්කිරීම මෙම x කිරණ යන්ත්‍ර යෙන් ඡායා පිටපත් ලබා ගනිමින් සිදුකරයි.
නමුත් මෙම යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ශල්‍යකර්මවලට භාජනය කළ යුතු රෝගීන්ට විකලාංග ශල්‍යාගාරයෙන් එම සැත්කම සිදුකිරීමට සිදුව ඇති අතර එම ශල්‍යාගාරය මගින් සැත්කම් කිරිමට නියමිත රෝගීන් වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් වේලාවක් සහ දිනයක් වෙන්කර ඇති බැවින් හදිසි අනතුරු ඒකකයේ රෝගීන් සඳහා වේලාවක් සහ දිනයක් වෙන් කර ගැනීමට අසීරු වි ඇති බවද පැවසේ.
හදිසි අනතුරු ඒකකයේ ශල්‍යාගාරයෙන් එක් දිනකදී සිදුකිරීමේ හැකියාව පැවති සැත්කම් යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් විකලාංග ශල්‍යාගාරය වෙත යොමු කිරිමෙන් ශල්‍යකර්ම සති ගණන් ඈතට දිය යන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.







