දිනසේන රතුගමගේ –
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය සහය පල කරනු ලබන්නේ කවරෙකුට ද යන්න මෙතෙක් පක්ෂය විසින් තීරණය කොට නොමැති බව එම පක්ෂයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා ඊයේ (16 ) පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් පිරිසක් විසින් ඔහුගෙන් නගන ලද ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමිනි.
මේ අවස්ථාවේදී ඉතා කල්පනාවෙන් කටයුතු කළ යුතුව ඇති බව කී දෙමළ ජාතික සන්ධානයේ නායකයා ඉතාම ඉක්මනින් දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම පවත්වා දෙමළ ජාතික සන්ධානය විසින් සහය පලකරනු ලබන අපේක්ෂකයා ගැන තීරණයක් ගන්නා බවද කියා සිටියේය.
මධ්‍යම කාරක සභාව ගන්නා තීරණය අනුව කටයුතු කරන නමුත් පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කිරීම අවසන් මොහොත දක්වා සිදු නොවීමට ඉඩ ඇතැයිද සම්පන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ තවත් පිරිසක් සහභාගී වූ සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත්තේද පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින් ගැන සිතා බලා අවසන් මොහොතේදී තීරණයක් ගන්නා බවය.
මේ වන විට විවිධ පිරිස් දෙමළ දේශපාලන පක්ෂ වල සහය ලබා දෙන්නේ යම් යම් පක්ෂ වලට බව ප්‍රකාශයට පත් කොට ඇතත් ඒ කිසිදු ප්‍රකාශයක කිසිදු සත්‍යතාවයක් නොමැති බවද දෙමළ ජාතික සන්ධානයේ නායකවරයා පැහැදිලිවම ප්‍රකාශ කොට ඇත.







