-
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසියේ දී අලෙවි කළේ රජයේ තක්සේරු වටිනාකමට වැඩියෙන් ඉදිරිපත් වූ ඉහළම මිලට පමණයි… රජය නිවේදනය කරයි…
ජනාධිපති ලේකම් කාර්යාලය හරහා වෙන්දේසි කළ සුඛෝපභෝගී වාහන නිශ්චිත ක්‍රම පටිපාටිය අනුව, රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට අලෙවි කිරීමට කටයුත් කර තිබියදීත් සාපරාධී සාවද්‍ය ප්‍රකාශ කරමින් සිටින සමාජ මාධ්‍යකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එමෙන්ම වෙන්දේසියට ඉදිරිපත් කළ වාහන 26න් රජයේ තක්සේරු වටිනාකමට අඩුවෙන් මිල ගණන් ඉදිරිපත් වූ වාහන 09ක් අලෙවි කර නොමැති බවත් අලෙවි කළ වාහන 17 රජයේ තක්සේරු වටිනාකමින් වැඩි ඉහළම සන්සුවට ලබා දී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
සමාජ මාධ්‍ය සහ විවිධ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධව සංසරණයවන අසත්‍ය පුවත් සම්බන්ධව පැහැදිලි කිරීමක් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය මේ නිවේදනය නිකුත් කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ පසුගිය පාලනයන් තුළ මහජන මුදලින් මිලට ගන්නා ලද මෙම සුඛෝපභෝගී වාහන මහජන මුදලින් නඩත්තු කරමින් ඒවා පාවිච්චි කරමින් සහ නාස්ති කරමින් අබලන් තත්ත්වයට පත් කළ දූෂිත කණ්ඩායම් තමන්ගේ වරප්‍රසාද අහිමි වීමත් සමග වියරු වැටී සිටින බව මෙම කලබලයෙන් පැහැදිලි වන බවය. ඔවුන් තමන්ගේ නාලිකා සහ සමාජ මාධ්‍ය කුලී ලියන්නන් යොදා ගනිමින් තමන් අතට පත්වන ඕනෑම දෙයකින් ආණ්ඩුවට පහර දෙන තත්ත්වයට ඇද වැටී සිටින බව පවසන ජනාධිපති මාධ්‍ය අංශය මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය හා සාවද්‍ය සමාජ මාධ්‍ය භාවිතය අතිශය පිළිකුල් සහගත බව කියයි.
මෙම ද්වේශ සහගත ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කරනු ලැබ ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
අදාල නිවේදනය පහත දැක්වේ.
ජනාධිපති කාර්යාලය සතු වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීම සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය පුවත් වාර්තාකරණය පිළිබඳවයි
ජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ
දෙවෙනි අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙමින් තිබීම නිරීක්ෂණය වී තිබේ.
වත්කම් කළමනාකරණ චක්‍රලේඛ 05/2024 යටත්ව මෙහිදී කටයුතු කර ඇත.
මෙලෙස ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේදී රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇති අතර 2025-04-23 වන දින නියමිත පටිපාටියට අනුව පුවත්පත් නිවේදන මගින් ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි. ඒ වෙනුවෙන් මුදල් ගෙවා ටෙන්ඩර් අයදුම්පත් ලබාගත් අයදුම්කරුවන් 108 දෙනෙකු ටෙන්ඩර් පත් කැඳවීම අවසන් වූ 2025-05-15 දිනට තමන්ගේ මිල ගණන් ඉදිරිපත් කර තිබූ අතර එදින පෙ.ව 11.00ට ටෙන්ඩර් පත් විවෘත කර ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම සිදු කරන ලද්දේ නියමිත පටිපාටිය අනුවය.
එහිදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට වාහන අලෙවි කිරීමට කටයතු කරන ලදී. ඇතැම් වාහන සඳහා රජයේ තක්සේරුව ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින්, අලෙවි කරන ලද්දේ ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් පමණි. එසේ රජයේ තක්සේරු වටිනාකම ඉදිරිපත් නොවු වාහන අතරට වාහන 09ක් ඇතුළත්ය.
ඒ අනුව 2025-05-15 වන දින සිදු කෙරුණු ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීමේදී, අලෙවි වූ වාහන පිළිබඳ විස්තරය මෙසේය
එසේ තිබියදී මෙම ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම පිළිබඳව විවිධ අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ඒවා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරිමට යම් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටින බව පෙනේ.
පසුගිය පාලනයන් තුළ මහජන මුදලින් මිලට ගන්නා ලද මෙම සුඛෝපභෝගී වාහන මහජන මුදලින් නඩත්තු කරමින් ඒවා පාවිච්චි කරමින් සහ නාස්ති කරමින් අබලන් තත්ත්වයට පත් කළ දූෂිත කණ්ඩායම් තමන්ගේ වරප්‍රසාද අහිමි වීමත් සමග වියරු වැටී සිටින බව මෙම කලබලයෙන් පැහැදිලිය. ඔවුහු තමන්ගේ නාලිකා සහ සමාජ මාධ්‍ය කුලී ලියන්නන් යොදා ගනිමින් තමන් අතට පත්වන ඕනෑම දෙයකින් ආණ්ඩුවට පහර දෙන තත්ත්වයට ඇද වැටී සිටිති.
මෙම තත්ත්වය හමුවේ මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය හා සාවද්‍ය සමාජ මාධ්‍ය භාවිතය අතිශය පිළිකුල් සහගත වන අතර මෙම ද්වේශ සහගත ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කරනු ලැබ ඇත.







