ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිවරයා විසින් කරනු ලබන ප්‍රකාශ මත පදනම්ව නීතිය අතට ගෙන හැසිරෙන පුද්ගලයන් නිසා තමන්ට රාජකාරිය කරගත නොහැකි මට්ටමක ව්‍යාකූල තත්වයක් නිර්මාණය වී ඇතැයි සමස්ථ ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.
රක්ෂිත රැක ගන්නවා වෙනුවට තමන්ට සිදු ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල විවිධ කොටස් බලහත්කාරයෙන් වන රක්ෂිත එළි කරමින් වන සම්පත වනාශ කිරීම බලාසිටීමට බව ඔවුහු වැඩිදුරටත් පවසති.
මේ තත්වය වඩාත් තීව්ර වූයේ ගම සමග පිළිසඳර වැඩසටහන්වලදී ඉඩම් හා වගා ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා විසින් ගන්නා තීන්දු සහ ජනාධිපතිවරයා විසින් ලබාදෙන යම් යම් ප්‍රකාශ පදනම් කරගනිමින් ජනතාව නීතියට අවනත නොවන මට්මටක පැමිණීම බව ඔවුහු පෙන්වා දෙති. ඔවුන් පවසන පරිදි ඒ සඳහා ආසන්නතම උදාහරණය දහයියාගල රක්ෂිතයේ ඉඩම් අල්ලා ගැනීමය.
මෙවන් අවස්ථාවක ජනාධිපතිවරයා ඉක්මවමින් කතා කිරීමට රාජ්‍ය නිලධාරීන්ට නොහැකි වීම තුළ ජනතාව ඉදිරියේ ඔවුන් පමණක් නොව, ඔවුන්ගේ ආයතන හා ඔවුන් විසින් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනා අණ පණත් ද හෑල්ලුවට ලක්වන ආකාරය ඔවුහු පෙන්වා දෙති.
තමන් මේ ආකාරයෙන් ලිඛිතව ජනාධිපතිවරයා වෙත සිය ගැටලුව යොමු කරනු ලැබුවේ දේශපාලනික අර්ථයකින් රජය අපහසුතාවටය පත් කිරීමට නොවන බවත් පවතින තත්වය තුළ පුද්ගලයන්ගේ හැසිරීම රජයත් ජනාධිපතිවරයාත් අප්‍රසාදයට ලක්වන ආකාරය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් ලෙස ජනාධිපතිවරයා දැනුවත් කිරීමට බවත් මෙම ලිපිය පිළිබඳ අදහස් දැක්වූ සමස්ථ ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආර්.ඒ.එස්.එස්. රණවකආරච්චි ලංකාසරට පැවසීය.
වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය මුළුමනින්ම මෙසේය.
වන ජීවී රක්ෂිත ඇතුළු වන රක්ෂිත වලටවන හානිය සම්බන්ධයෙනි.
අතිගරු ජනාධිපති තුමනි
මෙම කාලය තුළ වනජීවි ඇතුළු රක්ෂිත භූමි දැඩි අවදානමක පවතින බව අපහට පෙනී යයි. පසුගිය මාස කිහිපය සලකා බලන කල රටේ විවිධ ස්ථානවලින් රජයේ ආශීර්වාදය ඇතිව හා විවිධ වගා ව්‍යාපෘති සඳහා ඉඩම් නිදහස් කිරීම මගින් වූ වන විනාශය සම්බන්ධ තොරතුරු මාධ්‍ය තුළ අනාවරණය වේ.
ඒ අතරම පවතින නීතිය අභිබවා දේශපාලන මැදිහත් වීම් ද වේ. වනජීවි කාලාප සැලකීමේ දී පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට වූ බලපෑම සම්බන්ධව වනජීවී වෘත්තීය සමිති ලෙස මෙම සම්පත් සුරැකීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියා මාර්ගයන් පවා ගැනීමට සිදු විය. දුෂ්කරතා තිබියදීත් මෙම දිවි හිමියෙන් අරක්ෂා කරගත් වන සම්පත ඇතුළු ස්වභාවික සම්පත් කෙරෙහි ඇති වී තිබෙන්නේ දැඩි අවදානමකි.
මේ වනවිට වන ජීවි නිලධාරීන්ට මෙම රක්ෂිත රැක ගැනීම වෙනුවෙන් රාජකාරි කිරීමට ද නොහැකි තත්වයක් ඇතිවෙමින් පවතී. ඒ වෙනුවට සිදු ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල විවිධ කොටස් බලහත්කාරයෙන් වන රක්ෂිත එළි කරමින් වන සම්පත වනාශ කිරීම බලාසිටීමට සිදුවීමයි. මෙය වඩාත් තීව්ර කරමින් ඔබතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහන්වලදී ඉඩම් හා වගා ගැටලු පිළිබඳ ගන්නා තීන්දු සහ ඔබතුමන් විසින් ලබාදෙන යම්යම් ප්‍රකාශ පදනම් කරගනිමින් ජනතාව නීතියට අවනත නොවන මට්ටමකට පැමිණ ඇත. ආසන්නතම සිදුවීම වනුයේ දහයියාගල රක්ෂිතයේ ඉඩම් අල්ලා ගැනීමය. දහයියාගල අලි කොරිඩෝව අහිර වීමෙන් ඊට ඉහලින් ඇති ස්වභාවික ලවණ නිධිය භාවිතා කරන වන අලි සමග ජනතාව නිතර ගැටීමට සිදුවිය හැකිය. ඉන් සිදුවන්නේ වන අලි හා මිනිසුන් යන දෙපාර්ශවය අවදානමට ලක් වීමය.
මෙවැනි වැඩසටහන්වලදී කිසිදු නිලධාරියෙකුට ඔබතුමා අභිබවමින් පිළිතුරු දීමට සදාචාරාත්මක හැකියාවක් නොමැතිකමින් ජනතාව ඉදිරියේ එම නිලධාරීන්ට මෙම රක්ෂිත රැක ගැනීම වෙනුවෙන් කරුණු දැක්වීමට හැකියාවක් නොලැබේ. එමෙන්ම එම ප්‍රදේශවල නිලධාරීන් මෙන්ම ආයතන ප්‍රධානීන් ද ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් වේ. එහිදී එම නිලධාරීන්ට බලය පැවරී ඇති අණ පණත් ද ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් වේ. මේ අරක්ෂා කරනුයේ රටේ ජාතික සම්පත් මිස කිසිදු නිලධාරියෙකුගේ පුද්ගලික දේපලක් නොවන අතර මෙම ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට ඇප කැපවී සිටින නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය පවා මෙහිදී බිඳ වැටීමට ලක්වේ. ජනතාව ඉදිරියේ මෙපමණ කාලයක් රැකගත් ජාතික සම්පත් සම්බන්ධව ප්‍රකාශ හා නියෝග ලබා දීමේ දී නිසි සොයා බැලීමක් සිදුකර අදාල ආයතන සමග සාකච්ඡාකර තීන්දු තීරණවලට එළඹ ජනතාවට හැකි උපරිම සාධාරණය සිදු කිරීම උචිතම ක්‍රමවේදය බව අපි කියා සිටිමු. ජනතාව සතුටු කිරීම කළ යතු නමුත් ජාතික සම්පත් අනතුරේ දැමීම මුලු මහත් පුරවැසියන්ටම පසු කාලීනව විපා දීමට සිදුවන ක්‍රියාවලියකි.
කැලෑ ප්‍රදේශ හෙලි කර වගාවන් සඳහා නිදහස් කිරීමෙන් පසුකාලීන ප්‍රතිඵලය වනුයේ දෙවන තෙවන පෙළ පරම්පරාව එහි ජනාවාස ආරම්භ කිරීමය. ඉන් පසු ජනාවාස වූ කැලෑ ප්‍රදේශයට ආසන්න කැලෑ ප්‍රදේශ ක්‍රම ක්‍රමයෙන් අනවසරයෙන් අල්ලා ගනිමින් වගාකිරීමට යොදා ගන්නා අතර ජනාවාස වූ කොටසින් සම්පූර්ණ ලෙස වගාවන් ඉවත්වීමය. යළිත් පෙර පැවති තත්වයට කිසිසේත් ලක් කළ නොහැකි අතර පසුකාලීනව යටිතල පහසුකම් දියුණු කිරීමද සිදුකරලිය යුතු වේ. මින් සිදුවන්නේ අත්‍යවශ්‍ය වන ගහණය දිනෙන් දින අඩුවීමය. 5/2001 චක්‍රලේඛය අහෝසි කර වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රජය වෙනත් කැලෑ ඉවත්වීම මගින් ඉහත ක්‍රියාවලියට ඉනිමන් බැන්දා වැනි මෙන්ම එමගින් වනජීවි කලාප බොහොමයක් නිරාවරණය වී අවදානමට ලක් වී ඇත.
රාජ්‍ය නිලධාරීන්ද පුරවැසියන් ලෙස සංවර්ධනයේ ප්රතිලාභ භුක්තිවිඳින අතර අප සංවර්ධන කාර්යයන් සඳහා කිසිදු විරෝධයක් නොමැති අතර එහිදී ප්‍රමුඛතා හඳුනාගැනීමත් පවතින නීතිමය තත්වයන් සැලකීමත් එහි අදාල ඇගැයිම් නිවැරදි ආකාරයෙන් සිදු කිරීමත්, අනතුරුව ඇගයීමවල නිර්දේශ ක්‍රයාත්මක කිරීමත් ඒ හා බැඳි සියලුම ක්‍රියාවලීන් සොයා බලා සිදුකිරීම අත්‍යවශ්‍ය බව අප පෙන්වා දෙමු. මන්ද මෙම සියල්ල මතුවට බලපාන බැවිනි. අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති වුව ද නිසි පාරිසරික ඇගයීම් නොමැතිව හා අවිධිමත් ආකාරයෙන් සිදුකිරීම නිසා මෙරට තුළ ඇති වී තිබෙන පාරිසරික ගැටලු බොහෝමයකි. විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම දැක්විය හැකිය.
ප්‍රධාන වශයෙන් ලංකාව තුළ සිදුව ඇති අක්‍රමවත් ඉඩම් පරිහරණ රටාව හැකි අයුරින් හෝ නිවැරදි කිරීමෙන් තොරව ඉඩම් පරිභෝජනය වැඩිකිරීමෙහි ලා මෙම උද්ගත වී ඇති වන සතුන් හා ජනතාව අතර ඇති එරෙහිතාව තවදුරටත් වැඩි වනවා මිස අඩු කිරීමට නොහැකි තත්වයකට පත්වේ. දැනටමත් වගාවන් සඳහා විශාල භූමි ප්‍රමාණයක් වෙන්ව ඇති මොහොතක එහි ඵලදා ප්‍රමාණාත්මක හා ගුණාත්මක භාවය වැඩි කරනු වෙනුවට තව තවත් වනසම්පත වගාවන්ට බිලි කිරීම උචිත නොවන බව අපගේ අදහසයි. අවසානයේ සිදුවනුයේ තිබුණු තැනටත් වඩා අන්ත ස්ථානයකට මෙම ගැටලුව තල්ලු වීමය.
අලි මිනිස් ගැටලුව විසඳීම සඳහා ඔබතුමා විශේෂයෙන් අවධානය යොමුකර ඇති බැවින් දැනට සීඝ්රයෙන් හායනයවන වන සම්පත අක්‍රමවත් ආකාරයට ජාවාරම් කරුවන් හා අනවස වගාකරුවන් අතට පත් කිරීමෙන් දහයියාගල වැනි අලින්ගේ සංචරණයට වැදගත්ම ස්ථාන අහිමි කිරීම සිදුනොකළ යතු බව අපගේ අදහස හා ඉල්ලීම වේ. මෙලෙස අලින්ගේ හුරු සංචරණ කලාප අහිමිවීමෙන් බලාපොරොත්තුවන ඉලක්කයන්ට යා නොහැකි බව අප සඳහන් කරමු. එබැවින් ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තය දියුණු කරනවා මෙන්ම රටේ ඇති ස්වභාවික සම්පත් ජෛව විවිධත්වය පරිසර පද්ධතිය රැක ගැනීමට ද වගකීම ඔබතුමා සතු බැවින් ඒ සඳහා සංවේදී වෙන මෙන් ද අපි කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒ.පී.එස්. විදානගමගේ
ප්‍රධාන ලේකම්
සමස්ථ ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය









