මහ රැජනගේ අවමංගල්‍යයට සහභාගී වීමට එංගන්තය බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකික දූත පිරිසට විරෝධය පලකරමින් ජනාධිපතිවරයා නැවතී සිටි හෝටලය ඉදිරිපිට ඊයේ (20) එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.
මර්ධන නීති යටතේ අත්අඩංගුවටගත් සියලුම සමාජ ක්‍රියාකාරින් නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අකුලා ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම විරෝධතාකරුවෝ විරෝධයේ නිරතව සිටියහ.
ඔවුන් ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආරක්ෂකයෙක් බවත් ඔහු පිළිගත නොහැකි ජනවරමක් රහිත ව්‍යාජ ජනාධිපතිවරයෙක් බවත්ය.
මේ අතර පෙරේදා (19) සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව දක්වමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසා තිබුණේය..

එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ.
එහිදී ජනාධිපතිවරයා මෙසේ කීවේය.
“විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් ඩයස්පෝරාව ලෙස හැඳින් වෙනවා. අපි ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය නම් ව්‍යාපෘතියක වැඩ කරමින් සිටින අතර විදේශ අමාත්‍යාංශය ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. එය ජනාධිපති කාර්යාලය යටතේ පවතිනවා. නමුත් ටික කලකට පසු එය ජාත්‍යන්තර වෙළඳාම භාර ගන්නා බැවින් එය විදේශ අමාත්‍යාංශය යටතට පත් වෙනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ මෙම කාර්යාලය සාර්ථක වීමටයි. අපි හැමෝම ඊට සම්බන්ධ වෙන්න ඕන. උතුරේ විතරක් නෙවෙයි, දකුණෙත් ආයෝජනය කරන්න පුළුවන්. “
“ඔබගෙන් සමහරෙකුට දකුණේ හෝ නැඟෙනහිර ප්‍රදේශයේ සබඳතා තිබෙන්නට පුළුවන්. ඔවුන්ට උපකාර කිරීමට අවශ්‍ය විය හැකයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට හැකි ආකාරයෙන් ශ්‍රී ලංකාවට උපකාර කරන්න. “
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







