දිනසේන රතුගමගේ –
චීන සමාගමක් හා දේශීය සමාගමක් එක්ව කිළිනොච්චියේ පුනරීන් කෞදාරීමුනෙයි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානය ඊයේ ( 27 ) සිට වසා දමා තිබේ.
දෙමළ ජාතික සන්ධානය හා පළාතේ ධීවර සංගම් මෙම මධ්‍යස්ථානය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පල කිරීමෙන් පසුව එහි කටයුතු බාරව සිටි චීන ජාතිකයින් ඔවුන්ගේ බඩුබාහිර ආදියද එම ස්ථානයේම දමා පළාතෙන් ඉවත්ව ගොස් තිබුණි.
පසුව ඊට සම්බන්ධ දේශීය සමාගම එහි නඩත්තු කටයුතු දිගින් දිගටම සිදු නොකිරීම නිසා එම මධ්‍යස්ථානයෙන් විශාල පරිසර හානියක් සිදුවන බව කිළිනොච්චියේ බලධාරීන්ට පළාතේ ධීවර සංගම් විසින් පෙන්වා දී ඇත. පසුව එම මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගෙන තිබේ.
එම මධ්‍යස්ථානයෙන් මුහුදු කූඩැල්ලන් අභිජනනය කොට ඔවුන් නියමිත බර ප්‍රමාණයකට පැමිණි පසුව විදේශීය වෙළදපලට අලෙවි කිරීමේ කටයුතු සිදු කරගෙන ගිය අතර එම මධ්‍යස්ථානය නිසි අවසරයකින් තොරව පවත්වා ගෙන යාම හා කිළිනොච්චියේ ධීවරයින්ට ඒ මධ්‍යස්ථානය අවට මුහුදේ මසුන් මැරීම තහනම් කිරීම නිසා චීන සමාගමට එරෙහිව විරෝධතාවයක් එල්ල වුණි.








