මනම්පිටිය නිමල් ජයරත්න –
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල ප්‍රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩි දක්වා වෑන් රථයකින් දඩ මස් තොගයක් ප්‍රවාහනය කරමින් දෙහිඅත්තකන්ඩිය පොලිසියේ පොලිස් නිලධාරියෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරියකු සහ තවත් පුද්ගලයකු වෑන් රථයත් සමග අද (10) සවස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව හෙනානිගල වනජීවී නිලධාරී කාර්යාලය පවසයි.
වෑන් රථය පිටුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගන්නා විට වල් ඌරු මස්, ගෝන මස්, හා මුව මස් තොගෙයක් පොහොර මලු තුනක දමා වෑන් රථයේ සඟවා තිබූ බව මේ පිළිබඳව ලංකාසර කළ විමසුමක දි වනජීවී නිලධාරියෙක් සඳහන් කළේය.
වනජීවී දෙපාර්තමේන්තු අයත් කැබ් රථයකින් වෑන් රථය පිටුපස ලුහුබැඳ පළාගොස් මුවගම්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම වෑන් රථයේ මීට පෙරද මස් ප්‍රවාහනය කරන බවට තොරතුරු ලැබී තිබුණු බව වැටලීමට එක්වූ වනජීවි නිලධාරීහු සඳහන් කළහ.
වෑන් රථය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා වනජීවී නිලධාරීන්ට බැණ වැදි පලා යාමට උත්සාහ කළ බවත්, ඉන් දෙහිඅත්තකණ්ඩිය පොලීසියේ නිලධාරියා පලාගොස් ඇති අතර සිවිල් ආරක්ෂක නිලධාරියා සහ අනෙත් පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
අත්අඩංගුවට ගත් මස් තොගය කොපමණ කිලෝ ප්‍රමාණයක් තිබේදැයි යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත්, පලාගිය පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන අතර, අනිත් දෙදෙනා සහ වෑන් රථය හෙට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවත් වනජීවී නිලධාරීහු සඳහන් කළහ.







