මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල, ඇල්ලේවැව මහවැලි කොට්ඨාසයේ අක්කර 35 කින් පමණ යුත් වලස්ගල රක්ෂිතය කිසියම් පුද්ගලයකු විසින් මේ දිනවල ඩෝසර් දමා විනාශ කරමින් සිටී.
වාර්තා වන්නේ ජේ.සී.බී, යන්ත්‍රයක් යොදාගෙන මෙම කැලෑ පාලුවා මෙම රක්ෂිතය වනසමින් සිටින බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම වලස්ගල රක්ෂිතය වන අලින්ගේ මෙන්ම වන සතුන්ගේ නිජ භූමියක් බවට පත්ව තිබු බවත් එය විනාශ කිරීම හේතුවෙන් දැවැන්ත පරිසර සංහාරයක් සිදු වෙනවා සේම අලි, මිනිස් ගැටුම උග්‍ර වීමට බොහෝ දුරට බලපානු ඇති බව මේ වනවිට පරිසර සංවිධාන අනතුරු අඟවා තිබේ.
ඉඩම් බැහැර කිරීම ජනාධිපතිවරයා විසින්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට තහනම් කර ඇති වකවානුවක මෙම ඉඩම් රක්ෂිතය වැනසීම හාස්‍යයට කරුණක් බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

අප මෙම විනාශය පිළිබඳ ප්‍රදේශයේ ඒකක කළමනාකාරවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, අනවසර වගාකරුවන් කිහිපදෙනෙකු විසින් එම විනාශය සිදුකරන බවත්, ඔවුන්ට විරුද්ධව නඩු පවරා තිබිය දී එක් පුද්ගලයෙක් යළිත් අනවසර වගාවන් සිදු කිරීමට උත්සාහ දරන බවත්ය.
මේ පිළිබඳව පොලිසිය සහ මහවැලි උසස් නිලධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව එම විනාශය වැළැක්වීමට කටයුතු කර ඇති බව ඔහු කීවේය.
අප මේ සම්බන්ධයෙන් ඇල්ලේවැව මහවැලි කොට්ඨාස කළමණාකාරා ආර්.ඒ. ඉන්ද්රාණිගෙන් දුරකථනයෙන් කල විමසීමකදී ඇය පැවසුවේ කොට්ඨාස ගොවි සංවිධාන සභාපතිවරයාගේ කුඹුරේ කුණු ඇල සකස් කිරීමට එම ජේ,සී.බී යන්ත්‍රය යොදා ඇති බවත්, ඉන් එතරම් හානියක් සිදු නොවන බවත්ය. එහෙත් ඉතා පැහැදලිව මෙම රක්ෂිතය විනාශ කරමින් වගා බිමක් සකස් කරන ආකාරය ය.
මෙම විනාශය පිළිබඳ අනතුරුව අප මහවැලි බි කලාපීය කොට්ඨාස කළමනාකාර සුගත් විරසිංහගෙන් විමසුවෙමු. ඔහු සඳහන් කළේ කොට්ඨාස ගොවි සංවිධාන සභාපතිවරයාගේ කුඹුර සකස් කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බවත්, එය තමන් නිරීක්ෂණය කර ඇති බවත්ය.
ප්‍රදේශවාසීන් පවසන්නේ ඉතාම නිර්දය ලෙස මෙම ව්‍යසනය මහවැලි අධිකාරිය විසින් වසා දමන බවය.







