අද උදෑසන අනතුරට පත් Hongdu K-8 වර්ගයේ ගුවන් යානය සම්බන්ධ සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් සාමාජිකයින් හත්දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණවීම් සඳහා යොදාගනු ලබන මෙම K – 8 වර්ගයේ ගුවන් යානයක් අද (21) උදෑසන පුහුණුවීමක් අතරතුර කුරුණෑගල වාරියපොල පාදෙණිය ප්‍රදේශයේ දී හදිසි අනතුරට ලක්වී තිබිණි.

මෙම ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මුලික කදවුරෙන් පෙරවරු 07.27 පමන ගුවන් ගතවී ඇත. අනතුර සිදුවන්නේ පෙරවරු 07 .55 පමණය. .
ගුවන් යානයේ ගුවන් නියමු නිළධාරින් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත්වී කුරුණෑගල පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාලය පරිශ්‍රයට පැරිෂුට් ආධාරයෙන් ගොඩ බැස්ස බව ගුවන් හමුදාව කියයි.
මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිළධාරිවරයා ගමන් කර ඇති අතර, එම නිළධාරින් මෙ වන විට කුරුණෑගල ජාතික රෝහලට ඇතුල කර ඇති බව ගුවන් හමුදාව නිවේදනය කරයි.







