කීර්ති ප්‍රනාන්දු –
ගුරු දිනය දා ගුරුවරුන් පුදුම කිරීමට පාසලේ තොරණක් ගැසීමට අවශ්‍ය පොල් අත්තක් කැපීමට ගිය පාසල් සිසුවෙකු කපමින් සිටි පොල් අත්ත විදුලි රැහැන්වල වැදීමෙන් විදුලිසැර වැදි බිම ඇද වැටී බරපතල තුවාල සහිතව ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ අනතුරට පත් වී ඇත්තේ මිනුවන්ගොඩ කෝපිවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන දිනිඳු කවිෂාන් ජයසේකර නමැති පාසල් සිසුවෙකි .
මෙම පාසල් සිසුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවෙකු බවද කෝපිවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසීය .
විදුලි සැර වැදී බිම ඇද වැටුණු පාසල් සිසුවා බිම තිබූ කොන්ක්‍රීට් දැමූ යකඩ බටයක් මතට වැටී ඇති බවත් එහිදී යකඩ බටය ඇනීමෙන් සිසුවාගේ තුනටිය ප්‍රදේශයට තදබල ලෙස තුවාල සිදුවී තිබූ බව මිනුවන්ගොඩ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය .
අනතුර සිදුවී තිබුණේ ඊයේ සවසය.
බරපතළ තුවාල සහිතව මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කළ සිසුවාව වහාම ගම්පහ මහ රෝහල වෙත මාරු කර යැවූ බවද එම රෝහල් ප්‍රකාශකයා කීය .
අප මෙම සිසුවා පිළිබඳව ගම්පහ මහ රෝහලෙන් කළ විමසීමේදී අද (07) උදෑසන එම පාසල් සිසුවාව ශල්‍යකර්මයකට ලක් කරන බව එහි උසස් වෛද්‍යවරයෙකු ලංකාසරට පැවසීය .
අනතුරට පත් සිසුවා සහ ඔහුගේ මිතුරන් පිරිස පාසලට පැමිණ අද (07) දින ගුරු දිනය සැමරීම වෙනුවෙන් පාසලේ ප්‍රධාන දොරටුව අසල තොරණක් ඉදිකිරීමට මෙම පොල් අතු කැපීම සිදුකර තිබේ .පාසල් භුමිය තුළ පිහිටි පොල්ගසක මෙම අතු කැපීම සිදුකර තිබිණ .
අද (07) දින උදෑසන පාසලට පැමිණෙන තම ගුරු මවුපියවරුන් පුදුමයට පත් කිරීමේ අරමුණින් මෙම සිසුන් පිරිස එක්ව ගුරු උපහාර තොරණක් ඉදිකිරීමට පොල් අතු කපමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් මෙසේ තොරණක් ඉදිකිරීම පිළිබඳව පාසලේ විදුහල්පතිවරයාව හෝ ගුරුවරුන්ව සිසුන් විසින් දැනුවත් කර නොතිබුණු බවත් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අප කළ විමසීමේදී පැවසීය .
පොල් අත්ත කපමින් සිටියදී විදුලිසැර වැදි බිම ඇද වැටුණු සිසුවාව සහෝදර සිසුන් හා පාසල අවට වැඩිහිටි පිරිස් එක්ව මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණ .







