ගෙවුනු වසර අතීතයටය. ඒ අතීත මතකාවර්ජනය එළඹෙන අවුරුද්දට ප්‍රවේශයක් වන්නේය. මේ සංක්ෂිප්තය ඒ ප්‍රවේශය සඳහාය.
රටේ විත්ති
ජනවාරි
10 – දෙවන එළිසබත් රැජිනගේ දෙවැනි දරුවා මෙන්ම එකම දියණියවන ඈන් කුමරිය හා ඇයගේ සැමියාවන ලෝරන්ස් ඇතුළු බ්‍රිතාන්‍ය රාජකීය දූත පිරිස මෙරටට පැමිණියහ.
17 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඩුවම නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද ජනාධිපති සමාව අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය .
27 ලොරෙන්සෝ පුතා යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබුවේය.
30 නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගත කළේය.
31 සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලොරෙන්සෝ පුතා යාත්‍රාව සහ නාවිකයින් හය දෙනා සීෂෙල්ස් නාවික හමුදාව විසින් එරට වික්ටෝරියා අගනුවර වරායට ආරක්ෂිතව ළඟා වූයේය.
පෙබරවාරි
02 – ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාලව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත්තේය.
09 – එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පලමු ශ්‍රී ලංකා පිතිකරු ලෙස පැතුම් නිශ්ශංක ඉතිහාසයට එක් විය. ඇෆ්ගනිස්ථානය සමග මෙම තරගය පල්ලෙකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්විනි.
16 – හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
20 – එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිපික් කලාපීය සමුළුවේ 37 වෙනි සැසිවාරයේ සමාරම්භක සැසිය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත් වුනේය.
23 – ඉන්දියාවේ සුප්‍රකට ස්පෝර්ට් ස්ටාර් සගරාවේ වාර්ෂික සම්මාන උළෙලේදී මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් පිටියේ ජාත්‍යන්තර ලකුණ ලෙස ගෞරව සම්මානයට පාත්‍ර වූයේය.
26 – වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබුවේය.
27 – මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු මෙන්ම හිටපු මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිවරයෙකු වූ රොනී ද මෙල් අභාවප්‍රාප්ත වූයේය. රොනී ද මැල් යනු අවස්ථා 11 කදී පාර්ලිමේන්තුවට අය – වැය ඉදිරිපත් කළ ඉතිහාසගත දේශපාලන චරිතයකි.
මාර්තු
08 – ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථා ඉතිහාසයේ පහළ’වූ විශිෂ්ට හඬ පෞරුෂයක් සහිත ප්‍රවීණ නිවේදිකාවක සහ රංගවේදිනියක වූ රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වූවාය.
09 – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තෙවෙනි හා අවසන් විස්සයි 20 තරගයේදී නුවන් තුෂාර ශ්‍රී ලංකාවේ කඩුලු ත්‍රිත්වයක් දිනා ගත් පස්වෙනි පන්දු යවන්නා ලෙස වාර්තා පොතට එක් වුනේය.
21 – කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 42කින් පරාජයට පත් විය. විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණි. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය. කිසිවෙක් ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටියේ නැත.
22 – රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙක් විචාරකයෙකු මෙන්ම ගෞරවණීය ගුරුවරයෙක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වූයේය.
28 – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පත්කරනු ලැබුවේය. පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරය මුලින්ම දරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ විසිනි. ඉන් පසු රෝහිත අබේගුණවර්ධනට එම තනතුර හිමිවූ නමුත් ඔහු පොහොට්ටුව අත් හැර රනිල් වික්‍රමසිංහ හා එක් වූයේය.
අප්‍රේල්
02 – ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාවට පවරා දීමට කැබිනට් අනුමැතිය හිමි වේ
16 – හිටපු රාජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම විදුලිසැර වැදී මිය ගියේය. සිය පොල් ඉඩමට පොහොර තොගයක් බාමින් සිටිය දී බිමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී සිදුවූ අනතුරින් ඔහු මිය ගියේය.
16 – සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ ටී ආර්යරත්න දිවියෙන් සමු ගත්තේය. සමාජ සේවකයෙක් වූ ඔහු හඳුන්වනු ලැබුවේ ලංකාවේ ගාන්ධි ලෙසය.
21 – පාලනයෙන් ගිලිහී ගිය රථයක් ගැටීමෙන් ෆොක්ස් හිල් යතුරුපැදි හා මෝටර් රථ තරග බිමේ දී පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබීය. අනතුරෙන් මිය ගිහින් ඉන්න පිරිස අතර තරගාවලියේ සේවයේ යෙදී සිටිය ට්‍රැක් මාෂල්ස්ලා සිව්දෙනකු සහ නරඹන්නන් තිදෙනෙක් වූහ.
23 – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වූවාය. ඇය අප්‍රේල් 21 දා පැවැත්වූ දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරගයේ දී නොදැවී ලකුණු 195ක් රැස් කිරීමෙන් පසු මේ ලෙස ප්‍රථම ස්ථානයට පත්වූවාය.
24 – මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වූයේය.
මැයි
08 – රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මෙරට පුරවැසියෙකු නොවන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සහ එම ධූරයේ කටයුතු කිරීමට ඇය නුසුදුසු බවට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් (මැයි 8 වැනිදා) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
10 – ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩුවූ සමගි ජන බලවේග මන්ත්‍රී අසුනෙහි මුජබර් රහුමාන් දිවුරුම් දුන්නේය.
13 – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් එවකට අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පත් කරනු ලැබුවේය. ඒ දෙකඩ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය විසිනි.
21 – ජපානයේ කොබේහි පැවැත්වුන ලෝක පැරා මලළ ක්‍රීඩා ශූරතාවලියේදී දණ හිසෙන් පහළ ආබාධිත කාණ්ඩයෙන් හෙල්ල විසිකළ සමිත දුලාන් ලෝක වාර්තාවක් සමග එම ඉසව්වේදී රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය
26 – දේශිය සංගීත කලාව වෙනත් මානයකට යොමු කළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා දිවි සැරියට සමු දුන්නේය. මියයන විට ඔහු 67 හැවිරිදි වියේ පසුවිය. ඔහු රොගීව ප්‍රතිකාර ගනිමින් මහනුවර ජාතික රෝහලේ සිටිය දී අභාවප්‍රාප්ත වූයේය.
30 – දශක ගණනාවක් ශ්‍රී ලාංකික සුභාවිත සංගීත ක්ෂේත්‍රයට අනූපමය මෙහෙවරක් කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්නයෝ ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වූහ. ඔහු මියයන විට 93 වන වියේ පසුවිය.
ජූනි
19 – 19 වෙනි බිල්බාඕ රෙයුනියන් ආරාධිත මලළ ක්‍රීඩා තරගාවලියේදී නව ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වූවාය. ඇය එම වාර්තාව තබන්නී පාසල් දැරියක වශයෙනි.
20 – ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජෙයිශංකර් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ දෙදින නිල සංචාරයක් සඳහාය.
27 – ජාතික ගුවන් විදුලියට වසර 100 සම්පූර්ණ වුනේය. ආසියාවේ පැරණිම ගුවන්විදුලිය ශ්‍රි ලංකා ජාතික ගුවන් විදුලිය ය. එය ආරම්භ වන්නේ ලෝකයේ 2වැනි ජාතික ගුවන් විදුලිය ලෙසය.
27 – 2024 විස්සයි 20 ලොක ශූරතාවය ඉන්දියානු කණ්ඩායම විසින් දිනා ගනු ලැබුවේය. ඒ ජූනි මස 29 වැනිදාය. දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් මහා තරගයේ දී ලකුනු 07කින් පරාජයට පත් කරමින් ඔවුන් විස්සයි 20 ලොක් ශූරතාවයක් දිනා ගන්නේ අවුරුදු 17කට පසුවය.
30 – හිටපු විපක්ෂ නායකවරයෙකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්බන්ධන් අභාවප්‍රාප්ත වූයේය. ඔහු ඒ වනවිට පාර්ලිමේන්තුවේ සිටි වියපත්ම දේශපාලකයා විය. මියයන විට ඔහු 91 වැනි වියේ පසුවිය.
ජූලි
04 – හඳ නැන්දා ලෙස ජනප්‍රියත්වයට පාත්‍ර වී සිටි විශිෂ්ට ගුවන් විදුලි ළමා වැඩසටහන් ශිල්පිනියක ලෙස ගෞරවයට පාත්‍ර වූ සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වූයේය. ලොව දීර්ඝතම ගුවන් විදුලි වැඩහටන් පෙළ ලෙස ප්‍රකාශවුන හඳ මාමා ළමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව වූයේ ඇයයි.
08- රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු සැලසුම් කරමින් ඇති ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
17 – මහාවංශය ලෝක උරුමයක් ලෙස නම් කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සතුව ඇති මහාවංශයේ පිටපතක් මෙලෙස යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඒ සඳහා වන ලෝක උරුම සහතිකය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී නිකුත් කළේය.
24 -පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
25 – ශ්‍රි ලංකාවේ සිටි ලෝක සම්භාවනාවට පත් භෞතික විද්‍යාඥයෙක් මෙන්ම ප්‍රතිපත්ති ගරුක ගෞරවනීය දේශපාලකයෙක් සහ විද්වතෙක් ලෙස සම්භාවනාවට පත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වුනේය. මිය යන විට ඔහු 81වැනි වියෙහි පසු විය.
26 පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භ වූයේය. රටවල් 200කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පැරිස් ඔලිම්පික් උළෙලේදී පදක්කම් 329ක් වෙනුවෙන් ක්‍රීඩා ඉසව් 32ක් සඳහා තරග වැදුනහ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 06 දෙනෙක් ඊට සහභාගී විය. ඔලිම්පික් උළෙලේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගත්තේ චීනය විසිනි. ඒ රන් 39ක්, රිදී 27ක් සහ ලෝකඩ 24ක් ලෙසය. දිනාගත් පදක්කම් ගණන 90කි.
28 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් ඉන්දියාව පරාජයට පත් කර මුල්ම වරයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගත්තේය. විශේෂත්වය වන්නේ ඔවුන් එම ජයග්‍රහණය ලබන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසය.
අගෝස්තු
2 – කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය ගල්බොඩ ඤාණීස්සර හිමියෝ අපවත් වූහ. බෞද්ධ ආගමික පුනරුදයක් වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ හිමි නමක් ලෙස උන් වහන්සේ ඉතිහාසගත වෙති.
7 – සංචාරක ඉන්දීය ක්‍රිකට් පිල සමග පැවති එක් දින තරගාවලිය 2-0 ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණඩායම සමත් වූයේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ, ඔවුන් ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු ලැබූ පළමු තරගාවලි ජය ලෙසය.
7 – ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවට එම පක්ෂය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
08 – මෙරට රූපවාහිනී ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 80 හැවිරිදි වියේ පසු විය. ඇය 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස වෘත්තීය ජීවිතය ඇරඹුවාය.
09 – මනුෂ නානායක්කාර හා හරින් ප්‍රනාන්දුගේ මන්ත්‍රී ධූර අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිකුත් වුනේය. රජයේ අමාත්‍ය ධූර දරමින් සිටි හරින් ප්‍රනාන්දුට සහ මනුෂ නානායක්කාරට එම ධූර හැරයන්නට සිදු විය.
25 ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වුනේය. 1935 නොවැම්බර් 10 වැනිදා අකුරැස්ස, මලිදූව දී උපත ලද ඒ මහතා, බටුවත්ත පිහිටි සිය නිවසේදී මියයන විට 89 වැනි වියෙහි පසුවිය. හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල් මිටක් වැනි රසික හදවත් දිනූ චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා විය.
26 – ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ එළිදැක්වුනේය.
29 – ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ලංකාවට පැමිණියේය.
29 – ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගොඩනැගුන සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සැමට ජයක් තේමාව ඔස්සේ එළි දැක්කේය
30 – ජානාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුලුවන් ශ්‍රි ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වූයේය.
සැප්තැම්බර්
11 ප්‍රවීන සංගීත ශිල්පී සේනක බටගොඩ දිවි සැරිය නිමා කළේය.
21 නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගන්න ඡන්ද විමසීම පැවැත්වුනේය. අතිශය සාමකාමී ලෙස ඡන්දය පැවැත්විනි.
22 – ශ්‍රී ලංකාවේ දේශපාලන වංශකතාවට නව පරිච්ඡේදයක් එක්කරමින් නවවෙනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවති ජනාධිපතිවරණයෙන් ලක්ෂ 57 කට වැඩි ජන්ද ප්‍රමාණයක් සහිතව ජයගැනීමට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සමත් වූයේය. මෙතෙක් කල් පැවති දේශපාලන සම්ප්‍රදාය වෙනස් කළ චින්තන පෙරළියක් සමග අත් කරගන්නා මෙම ජයග්‍රහණය ලෝක අවධානයට ලක් වූයේය.
22 – ප්‍රවින රංගන ශිල්පී ඩබ්ලියු ජයසිරි අභාවප්‍රාප්ත වූයේය. මිය යන විය ඔහු 77 වන වියේ පසු විය. විශිෂ්ට රංගධරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වුව ද, ඔහු අධ්‍යක්ෂවරයෙකු, ගීත රචකයෙකු මෙන් ම සාහිත්‍යධරයෙකු ලෙස ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවෙකි.
23 – ශ්‍රී ලාංකේය නර්තන කලාව පෝෂණය කිරීමෙහිලා සුවිශේෂී සේවයක් ඉටුකළ පද්ම ශ්‍රී කලාශූරී ආචාර්ය වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වූවාය.
23 – ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ජාතික ජන බලවේගයේ ජාතික බුද්ධි මණ්ඩපයේ ජාතික සංවිධායක ආනන්ද විජේපාල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවේය.
ආචාර්ය නන්දික සනත් කුමානායක අභිනව ජනාධිපති ලේකම් ලෙස පත් කළේය.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව පුරප්පාඩුවන පාර්ලමේන්තු මන්ත්‍රී ධූරයට ලක්ෂ්මන් නිපුන ආරච්චිව නම් කෙරුනේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න පත් කෙරිනි.
24 – මෙරට නව අගමැතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය.
ජනාධිපතිවරයා ඇතුළු තිදෙනෙකුගෙන් යුත් ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය පත් වුනේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ 15ක් සඳහා නව ලේකම්වරු පත් කලේය.
25 – ජනාධිපතිවරයා විසින් පළාත් නවය සඳහා නව ආණ්ඩුකාරවරු පත් කරනු ලැබුවේය.
27 ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අඩුම තරග සංඛ්‍යාවකින් ලකුණු දහස ඉක්මවූ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් නව ලෝක වාර්තාවක් පිහිටවනු ලැබුවේය. ඒ නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ය.
27 මාස 03 කට අධික කාලයක් හිස්ව තිබූ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කළේය.
28 ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වූයේය.
30 ග්‍රීසියේ පැවති හයවෙනි ලෝක අභියෝග්‍යතා රොබොටික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් පස් දෙනෙක් ඉංජිනේරු නිර්මාණයක් ඉදිරිපත් කර එම තරගාවලියේ ලෝකයේ විශිෂ්ටතම ඉංජිනේරු නිර්මාණයට හිමි ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනා ගත්තේය.
ඔක්තොම්බර්
04 – ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජෙයිශංකර් නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේය.
07 – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.කේ. විජේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වුනේය. ඔහුගේ පවත්විම අධිකරණය හමුවෙ අභියෝගයට ලක්කර තිබිණි.
10 2021 වසරට පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළ ම මට්ටමේ හමුදා සංචාරයක් සනිටුහන් කරමින් ඇමෙරිකානු නාවික හමුදාවේ තරු 4 අද්මිරාල්වරයෙකු වන සහ ඇමෙරිකානු පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් දිවයිනට පැමිණියේය.
19 – අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස පත්වීමෙන් පසු මෙරටට පැමිණි පලමු විදේශීය ජනාධිපතිවරයා ලෙස සියරාලියොන් රාජ්‍යයේ ජනාධිපති ජුලියස් මාඩා බිඕ මහතා දෙදින නිල සංචාරයක් සදහා ඊයේ දිවයිනට පැමිණෙයි
23 කොළඹ හිල්ටන් හෝටලේ රථ ගාලේ තිබී මෙරට එකලස් කරන ලද බව කියන BMW වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
නොවැම්බර්
03 – ක්‍රිකට් හොංකොං විසින් සංවිධානය කළ හොංකොං සික්සර්ස් 2024 ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අපරාජිතයන් ලෙස ශූරතාව දිනා ගැනීමට ලහිරු මදුශංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.
14 – 2024 මහමැතිවරණය පැවැත්වුනේය. ඉතාම සාමකාමී සහ සදාචාර සම්පන්න හැසිරීම් සහිත මහ මැතිවරණ දිනයක් වාර්තා විය. ඉතිහාසයේ මෙතෙක් පැවති මහ මැතිවරණවලදි ප්‍රචණ්ඩ ක්‍රියා අවම වූ මැතිවරණය මෙය විය.
15 – ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තා රැසක් පිහිටුවමින් ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක අභිබවා යන බහුතර බලයක් සමග ඓතිහාසික ජයක් ලැබුවේය. ඔවුන්ට හිමි වූ සමස්ත ඡන්ද සංඛ්‍යාව 6,863,186ක් වන අතර, පාර්ලිමේන්තුවේ ආසන 159ක් එම පක්ෂයට හිමි විය.
18 – ජාතික ජන බලවේගයේ නව ඇමති මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය. අමාත්‍ය මණ්ඩලය 22කින් සමන්විත විය.
20 -2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරු වී සිටිනා ජීජී අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේ ගේ මරණීය දණ්ඩනය අභියාචනාධීකරණය තහවුරු කළේය.
21 – දස වන පාර්ලිමේන්තුවේ නව සභාවාරය උත්සවාකාරයෙන් ඇරඹුනේය. කතානායකවරයා ලෙස අශෝක සපුමල් රන්වල තේරී පත්විය.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවලගේ නම කතානායක ධූරය සඳහා යෝජනා කරනු ලැබූ අතර, අමාත්‍ය විජිත හේරත් එය ස්ථීර කළේ ය.
23 – ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුනනේය
29 – ප්‍රකට “සුදු වෑන්” නඩුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි විත්ති වාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කරයි.
දෙසැම්බර්
02 – ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
13 – කථා නායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස් වන බවට නිවේදනයක් නිකුත් කළේය. සිය ආචාර්ය උපාධිය පිළිබඳව මතු වූ ප්‍රශ්නය සමථයකට පත්වන තුරු තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු එම ලිපියෙන් දැන්වූයේය.
15 – ජනාධිපති කුමාර දිසානායක ඉන්දීය ජනාධිපතිනී Droupadi Murmu ගේ ආරාධනයක් අනුව ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත් වූයේය. ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක කළ පළමු විදෙස් සංචාරය මෙය වෙයි.
17 – දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න තෝරා පත් කර ගැණුනි. අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය විසින් එම නම යෝජනා කරනු ලැබීය. සභානායක බිමල් රත්නායක විසින් එම නම ස්ථිර කළේය.
19 – මියන්මාර් සරණාගතයින් 103 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 12ක් සහිතව 115 දෙනෙකුගෙන් යුතු පිරිසක් සමග මහ මුහුද මැද දී අක්‍රීය වූ යාත්‍රාවක් මුලතිව් වෙරළ තීරයට අළුයම ගොඩගැසුවේය.
24 – සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ බිහි වූ වෙනස් කටහඬකට හිමිකම් කී ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 80 වැනි වියේ පසුවූයේය.
30 – නව යුද හමුදාපති ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත් කෙරුනේය.
31- පුරා වසර 41ක් මාතෘ භූමියේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටුකළ හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (31) සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය.
ලෝකයේ විත්ති
ජනවාරි
ජනවාරි 01 – ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය BRICS සාමාජිකයන් බවට පත් වූයේය.
ජනවාරි 01 වෙනිදා උදා වන්නේ රික්ටර් මාපකයේ 7.5 භූමිකම්පාවක් ජපානයේ බටහිර වෙරළ තීරයට ප්‍රහාරයක් එල්ල කරමිනි. එම භූමි කම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 462 ක් මිය ගොස් තවත් 1,344 දෙනෙකුට තුවාල සිදු විය.
ඉතියෝපියාව බර්බෙරා වරාය භාවිතා කිරීමට සෝමාලිලන්තය සමඟ ගිවිසුමක් නිවේදනය කළේය. සෝමාලිලන්තය අප්‍රිකාවේ අඟෙහි පිහිටි හඳුනා නොගත් රටකි. එය ඒඩන් බොක්කෙහි දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති අතර වයඹ දෙසින් ජිබුටි, දකුණින් සහ බටහිරින් ඉතියෝපියාව සහ නැගෙනහිරින් සෝමාලියාවට මායිම් වේ. ඉතියෝපියාව පවසන්නේ අවසානයේදී සෝමාලිලන්තයේ නිදහස පිළිගන්නා බවත්, එසේ කළ පළමු රට බවට පත්වන බවත්ය.
ජනවාරි 2 – ජපානයේ සිදුවූ භූමිකම්පා සිද්ධියත් සමග මානුෂීය ආධාර රැගත් වෙරළාරක්ෂක ගුවන් යානයක් ජපන් ගුවන් සේවයේ මගී ජෙට් යානයක ගැටීමෙන් පස් දෙනෙකු මිය ගිය අතර ගුවන් යානා දෙකම විනාශ විය. මගී ජෙට් යානයේ සිටි 379 දෙනාම ආරක්ෂිතව ඉවත් කර ගත්තේය.
මාෂල් දූපත් ව්‍යවස්ථාදායකය මහ මැතිවරණයෙන් පසු එහි පළමු සැසියේදී අඛණ්ඩව දෙවැනි වාරයක් සඳහා හිල්ඩා හයින් ජනාධිපතිනිය ලෙස තෝරා පත් කර ගත්තේය.
ජනවාරි 3 – Qasem Soleimani ගේ ඝාතන සිද්ධිය අනුස්මරණ උත්සවයක් අතරතුර ඉරානයේ කේමන් හි දී එල්ල වූ ද්විත්ව බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 94 දෙනෙකු මිය ගියේය. ඇතුල්වීමේ දොරටුවේ තැන්පත් කර තිබූ බ්‍රීෆ්කේස් දෙකක තැන්පත් කර තිබූ බෝම්බ දුරස්ථව පුපුරුවා හැරීමෙන් මෙම අපරාධය සිදුකර තිබිණි.
ජනවාරි 7 – විරුද්ධ පක්ෂවල විරෝධතා සහ ඡන්ද දායකයින්ගේ විශාල අඩුවීමක් මධ්‍යයේ ෂීක් හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය අඛණ්ඩව සිව්වන වතාවටත් බංගලාදේශ මැතිවරණය ජයග්‍රහණය කළේය
ජනවාරි 8 – මත්ද්‍රව්‍ය ජාවාරම් නායක José Adolfo Macías Villamar සිරෙන් පැන යාමෙන් පසු ඉක්වදෝර ජනාධිපති Daniel Noboa විසින් ඇඳිරි නීතිය ප්‍රකාශ කර හමුදාව කැඳවා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය.
ජනවාරි 11 – පොලිස් නිලධාරීන්ගේ සහ සොල්දාදුවන්ගේ වැටුප් කප්පාදුවක් හේතුවෙන් පැපුවා නිව්ගිනියාව පුරා කැරලි ඇති විය.
ජනවාරි 12 – එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයක් යේමනයේ හූති සටන්කාමීන් රැඳී සිටින ස්ථානවලට ගුවන් ප්‍රහාර දියත් කළේය, එය රතු මුහුදේ නැව්වලට හූති කරැළිකරුවන්ගේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමකි.
ජනවාරි 13 – 2024 තායිවාන ජනාධිපතිවරනය පැවැත්විනි. තායිවානයේ මිලියන 19 ක පමණ ඡන්දදායකයින් නව නායකයෙකු තෝරා ගැනිම සඳහා ඡන්දය ප්‍රකාශ කළේය. ඒ චීනය පමණක් නොව වොෂින්ටනය ද මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ සමීප නිරීක්ෂණයක යෙදෙන අතරය. පාලක ඩිමොක්‍රටික් ප්‍රගතිශීලී පක්ෂයේ ලයි චිං-ටේ 40% ඡන්ද ලබා ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කළේය.
ජනවාරි 14 – ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජන සිය 52වැනි සංවත්සරයේ දී සිය පදවියෙන් ලෙස නිල වශයෙන් ඉල්ලා අස් වූවාය. ඇයගේ වැඩිමහල් පුත් ෆෙඩ්රික් ඇයගෙන් පසුව දස වන ෆෙඩ්‍රික් ලෙස රාජ්‍යත්වයට පත් විය.
ජනවාරි 15 - 2023 මැතිවරනයෙන් අනතුරුව පැවති කෙටි දේශපාලන අර්බුදයකින් පසුව, බර්නාඩෝ අරෙවාලෝ ගෝතමාලාවේ 52 වැනි ජනාධිපතිවරයා ලෙස පත් විය.
ජනවාරි 16 – ඉරානය පකිස්තානයේ බලුකිස්තාන් පළාත තුළ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කළේය. ඉරානය පැවසුවේ ඉරාන බලුච් සටන්කාමී කණ්ඩායමක් වන Jaish ul-Adl ඉලක්ක කරමින් එම ප්‍රහාරය එල්ල කළ බවය.
ජනවාරි 19 – ජපානය සිය SLIM මෙහෙයුම සමඟින් සඳ තරණය කළ පස්වන රට බවට පත් විය.
ජනවාරි 24 – රුසියානු Ilyushin Il-76 හමුදා ප්‍රවාහන ගුවන් යානයක් යුක්රේන යුද සිරකරුවන් 65 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සහ ආරක්ෂකයින් තිදෙනෙකු ද සමග යුක්රේන දේශසීමාව අසල රුසියාවේ Korochansky දිස්ත්‍රික්කයේ දී කඩාවැටුන බව රුසියාව ප්‍රකාශ කළේය. එම කඩා වැටීමෙන් යානයේ ගමන් කළ සියලුම දෙනා මියගියහ.
ජනවාරි 26 – එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකරන ජන සංහාරක ක්‍රියාවන් වැලැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවට තීන්දු කළේය. නමුත් මෙහෙයුම් වහා නතර කරන ලෙස නියෝග කිරීමෙන් වැලකී සිටියේය.
ජනවාරි 31 – ජොහෝර්හි සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ 17 වැනි යැං ඩි-පර්ටුවාන් ඇගොන්ග් ලෙස සිහසුනට පත් විය.
පෙබරවාරි
පෙබරවාරි 2 – එක්සත් ජනපද හමුදා කඳවුරකට එල්ල කරන ලද මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය ඉරාකයේ සහ සිරියාවේ ඉලක්ක 85කට ගුවන් ප්‍රහාර දියත් කළේය.
පෙබරවාරි 4 – 2024 සැල්වදෝර මහ මැතිවරණයෙන් වත්මන් ජනාධිපති නයිබ් බුකෙල් 80% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කළේය, 1944න් පසු එල් සැල්වදෝරයේ නැවත තේරී පත් වූ පළමු ජනාධිපතිවරයා බවට ඔහු පත් විය.
පෙබරවාරි 6 – චිලියේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනෙරා හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියේය. මිය යන විට ඔහු අවුරුදු 74 වැනි වියෙහි පසුවිය.
පෙබරවාරි 7 – 2024 අසර්බයිජානියානු ජනාධිපතිවරණයෙන් ජනාධිපති ඉල්හාම් අලියෙව් පස්වන වාරයට නැවත තේරී පත් විය. මෙම තේරී පත්වීම සිදුවන්නේ විපක්ෂයේ දැඩි විරෝධතා මධ්‍යයේය.
පෙබරවාරි 8 – 2024 පකිස්ථාන මහ මැතිවරණයේ දී : ස්වාධීන දේශපාලඥයින්, ජාතික සභාවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේය. විශේෂත්වය වන්නේ මෙම මැතිවරණයට ස්වාධීනව තරග කළ වැඩි දෙනෙක් තහනම් දේශපාලන පක්ෂයක් වන පකිස්ථානු ටෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ්හි සාමාජිකයින් වීමය.
පෙබරවාරි 11 – 2024 ෆින්ලන්ත ජනාධිපතිවරණයේ දි පැවති තියුණු තරගයක් අතර දෙවන වටයේ ඡන්ද ගණනයෙන් පසු ඇලෙක්සැන්ඩර් ස්ටබ් ජනාධිපති ලෙස තේරී පත්වූයේය.
පෙබරවාරි 16 – රුසියානු විපක්ෂ නායක 47 හැවිරිදි ඇලෙක්සි නවාල්නි සැක කටයුතු ලෙස මිය ගියේය. ඔහුගේ මරණය රෝග ගණනාවක ඒකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස නිවේදනය විය.
පෙබරවාරි 22 – ඇමරිකානු සමාගමක් වන Intuitive Machines’s විසින් සඳ මතට යැවූ Nova-C ලෑන්ඩරය සඳ ස්ඵර්ෂ කළ පළමු වාණිජ යානය බවට පත් විය.
පෙබරවාරි 28 – කල්ලි දෙකක් බන්ධනාගාර දෙකකට කඩා වැදී අගමැති ඒරියල් හෙන්රිට ඉල්ලා අස්වන ලෙස බලකිරීමෙන් පසු හයිටි රජය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.
පෙබරවාරි 29 – : ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ සොල්දාදුවන් ගාසා නගරයේ සිවිල් වැසියන් සියයකට වැඩි පිරිසක් වෙඩි තබා ඝාතනය කළේය. යුද්ධයේ පලස්තීන වැසියන්ගේ සංඛ්‍යාව 30,000 ඉක්මවන බව වාර්තා විය.
මාර්තු
මාර්තු 7 – ස්වීඩනය නිල වශයෙන් නේටෝ සංවිධානයට එක් වූයේය. ස්වීඩනය නේටෝ සංවිධානයට එක් වුන 32 වැනි සාමාජිකයා බවට පත් විය.
මාර්තු 11 – රට තුළ අභ්‍යන්තර ගැටුම් මගින් සලකුණු කරන ලද අඛණ්ඩ අර්බුදයක් මධ්‍යයේ හයිටි වැඩබලන අගමැති ඒරියල් හෙන්රි, ඉල්ලා අස්වීමට බලාපොරොත්තු වන බව නිවේදනය කළේය.
මාර්තු 13 – කෘත්‍රිම බුද්ධිය සඳහා වන ලොව ප්‍රථම විස්තීර්ණ නීතිමය සහ නියාමන රාමුවවන කෘත්‍රිම බුද්ධි පනත, යුරෝපීය සංගමය විසින් සම්මත කරන ලදී.
මාර්තු 14 – ඊශ්‍රායල-හමාස් යුද්ධයේදී මියගිය පලස්තීන සිවිල් වැසියන්ගෙන් අවම වශයෙන් 56%ක් කාන්තාවන් සහ ළමුන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර නිවේදනය කළේය.
මාර්තු 15-17 – 2024 රුසියානු ජනාධිපතිවරණය පැවැත්වුන අතර වත්මන් ව්ලැඩිමීර් පුටින් පස්වන වාරය සඳහා නැවත ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුනේය.
මාර්තු 15-17 – 2024 රුසියානු ජනාධිපතිවරනය: වත්මන් ව්ලැඩිමීර් පුටින් පස්වන වාරය සඳහා නැවත තේරී පත් වුනේය.
මාර්තු 22 – ඉස්ලාමීය රාජ්‍යයට අනුබද්ධ තුවක්කුකරුවන් රුසියාවේ ක්‍රොස්නොගෝර්ස්ක් හි ක්‍රොකස් සිටි ශාලාවේ ප්‍රසංගයකට සහභාගි වූවන්ට පහර දීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 145 දෙනෙකු මිය ගොස් 551 දෙනෙකුට තුවාල සිදු විය.
මාර්තු 25 – එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වහාම ගාසා තීරයේ ” සටන් විරාමයක්” ඉල්ලා සිටින අතර සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කළේය.
මාර්තු 26 – එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ බහාලුම් නෞකාවක් ගැටීමෙන් පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී පුද්ගලයන් හය දෙනෙකු මිය ගියේය.
අප්‍රේල්
අප්‍රේල් 1 – ඊශ්‍රායලය ඩැමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 16 දෙනෙකු ඝාතනය කළේය.
අප්‍රේල් 3 – ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයට 20-30 cm (අඟල් 8-12) උසකට කුඩා සුනාමියක් ළඟා කරමින්, තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති විය.
ෙඅප්‍රේල් 5 – මෙක්සිකෝව විසින් දේශපාලන රැකවරණ ලබා දී ඇති හිටපු උප ජනාධිපති ජෝර්ජ් ග්ලාස් අත්අඩංගුවට ගැනීම සඳහා ඉක්වදෝර පොලිසිය ක්විටෝහි මෙක්සිකානු තානාපති කාර්යාලය වටලනු ලැබුවේය. මෙම ක්‍රියාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය උල්ලංඝනය කරන අතර මෙක්සිකෝව සහ නිකරගුවාව ඉක්වදෝරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දැම්මේය.
අප්‍රේල් 6 – 2024 ස්ලෝවැක් ජනාධිපතිවරණයේ දෙවන වටයේදී පීටර් පෙලෙග්‍රිනි ස්ලෝවැකියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූයේය.
අප්‍රේල් 8 – උතුරු ඇමරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක් දිස් විය.
අප්‍රේල් 10 – 2024 දකුණු කොරියානු ව්‍යවස්ථාදායක මැතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 176ක් දිනා ගන්නා අතර, ජනාධිපති යූන් සුක් යෝල් People Power and People Future, පක්ෂය දිනා ගන්නේ ආසන 108ක් පමණි.
අප්‍රේල් 13 – මස මුලදී දමස්කස්හි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඉරානය ඊශ්‍රායලයට එරෙහිව ප්‍රතිප්‍රහාර දියත් කළේය.
අප්‍රේල් 16 – මැද පෙරදිගට ඇද හැලෙන අධික වර්ෂාපතනයෙන් ක්ෂණික ගංවතුර ඇති වූ අතර අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගියේය. මෙය ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එමිරේට්ස් ගුවන් සේවයට බොහෝ බාධා ඇති කළේය.
අප්‍රේල් 25 – හයිටියේ වැඩබලන අගමැති ඒරියල් හෙන්රිගේ ඉල්ලා අස්වීමෙන් පසුව, හයිටියේ නව රාජ්‍ය නායකයා ලෙස තාවකාලිකව ජනාධිපති කවුන්සිලයක් බලයට පත් විය.[93]
අප්‍රේල් 29 කෙන්යාවේ Mai Mahiu අසල බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් 84 දෙනෙකු අතුරුදහන් විය, කෙන්යාවේ සහ ටැන්සානියාවේ පුලුල් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 488 දෙනෙකු මිය ගොස් 503,000ක් අවතැන් වීම නිසා ඇති වූ විනාශය තවත් වැඩි විය.
අප්රේල් 30 – G7 රටවල් 2030-2035 වන විට අසීමිත ගල් අඟුරු බලය අවසන් කිරීමට එකඟ වේ.
මැයි.
මැයි 5 – 2024 පැනමා මහ මැතිවරණය: ජොසේ රාවුල් මුලිනෝ ජනාධිපති ලෙස තේරී පත් විය.
මැයි 8 – උතුරු මැසිඩෝනියානු මැතිවරනයේදී, දක්ෂිණාංශික පක්ෂයක් වන VMRO-DPMNE පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තේය. එහි ජනාධිපති අපේක්ෂිකාව වු ගොර්ඩනා සිල්ජනොව්ස්කා-ඩව්කෝවා ජනාධිපතිවරණ දෙවන වටයේ දී රටේ පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස තේරී පත් වූවාය.
මැයි 10 – අකාරාදී පිළිවෙලට සාමාජික රටවල් අතර අසුන් ගැනීමේ අයිතිය පලස්තීන රාජ්‍යයට ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් සම්මත කළේය.
මැයි 15 – හැන්ඩ්ලෝවා නගරයේ පැවති උත්සවයකදී ආධාරකරුවන් සිය හමුවෙමින් සිටි ස්ලෝවැකියාවේ අගමැති රොබට් ෆිකෝ වෙඩි වැදී රෝහල් ගත කළේය.
මැයි 19 – ඉරාන ජනාධිපති Ebrahim Raisi සහ ඉරාන විදේශ ඇමති Hossein Amir-Abdullahian, අසර්බයිජාන් – ඉරාණ දේශසීමාව ආසන්නයේදී හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියේය. මිය ගිය අය අතර තවත් මගීන් හත් දෙනෙකු සහ කාර්ය මණ්ඩලය විය.
මැයි 20 – ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ගාසාවේ හමාස් නායක යහ්යා සින්වාර් යන අය යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා සිටියේය.
මැයි 24 – ඊශ්‍රායලය විසින් දකුණු ගාසාවේ රෆාහි තම හමුදා ප්‍රහාරය නතර කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණය වන ICJ, තීන්දු කළේය.
මැයි 26 – 2024 ලිතුවේනියානු ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති Gitanas Nausėda දෙවන ධුර කාලය සඳහා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.
මැයි 28 – ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ පලස්තීන රාජ්‍යය පිළි ගත්තේය.
මැයි 30 – එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මුදල් නඩු විභාගයේදී චෝදනා 34 කට වරදකරු විය. ඕනෑම ඇමරිකානු ජනාධිපතිවරයෙකු අපරාධයකට වැරදිකරු වූ පළමු අවස්ථාව මෙයයි.
ජූනි
ජූනි 1 – අප්‍රේල් 19 දින ආරම්භ වූ 2024 ඉන්දීය මහ මැතිවරණය අවසන් වුයේය. ලෝක් සභාවේදී, භාරතීය ජනතා පක්ෂයට එහි සම්පූර්ණ බහුතරය අහිමි වන නමුත්, එහි මැතිවරණ සන්ධානය වන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය එහි බහුතරය රඳවා ගත්තේය.
ජූනි 1-29 – 2024 ICC පිරිමි T20 ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් ජනපදය විසින් සම සත්කාරකත්වය යටතේ ආරම්භ වුනේය. ශූරතාවය ඉන්දියාව විසින් දිනා ගත්තේය.
ජූනි 2 – 2024 මෙක්සිකානු මහ මැතිවරණය පවත්වනු ලැබූ අතර, ක්ලෝඩියා ෂයින්බෝම් මෙක්සිකෝවේ පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස තේරී පත් විය.
ජූනි 6-9 – 2024 යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේය. වත්මන් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන්ගේ EPP, අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්වල කැපී පෙනෙන ජයග්‍රහණ මධ්‍යයේ පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම ලෙස එහි තත්ත්වය රඳවා ගත්තේය.
ජූනි 10 – මලාවි හි චිකන්ගාවා අසල ගුවන් අනතුරකින් මලාවි හි උප ජනාධිපති සවුලෝස් චිලිමා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියේය.
ජූනි 12 – ඔක්තෝබර් 7 ප්‍රහාර සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගාසා තීරයේ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ පළමු පරීක්ෂණයේ දී ඊශ්‍රායලය සහ හමාස් යන දෙපිරිසම යුද අපරාධ සිදු කර ඇති බව වාර්තා කළේය.
ජූනි 14 – 2024 දකුණු අප්‍රිකානු මහා මැතිවරණයෙ දී සිරිල් රමපෝසා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස නැවත තේරී පත් විය. ජාතික එක්සත් ආන්ඩුවක් පිහිටුවීමට දේශපාලන එකඟතාවයක් ඇති වුනේය
ජූනි 23 – සෞදි අරාබියේ මක්කම වාර්ෂික හජ් වන්දනාව අතරතුර අධික උණුසුම හේතුවෙන් පුද්ගලයන් 1,300 කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා විය.
ජූනි 24 – විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදය සමඟ කරන ලද භියාචනා ගිවිසුමකින් අනතුරුව සිරෙන් නිදහස් වීමෙන් පසු එක්සත් රාජධානිය හැර ගියේය. ඔහු දින දෙකකට පසු නැවත තමන් උපන් ඕස්ට්‍රේලියාවට පැමිණියේය.
ජූනි 26 – හිටපු ජෙනරල් කමාන්ඩර් ජුවාන් ජොසේ සුනිගා විසින් මෙහෙයවනු ලැබු කුමන්ත්‍රණ උත්සාහයක් බොලිවියාවේ ලා පාස් හි දී අසාර්ථක විය.
ජූනි 29 – නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ග්වෝසා නගරයේ වෙන වෙනම බෝම්බ පිපිරීම් තුනකින් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු තුවාල ලැබුවේය.
ජූලි
ජුලි 4 – 2024 එක්සත් රාජධානියේ මහා මැතිවරණයේ දී ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ගේ කම්කරු පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් කරගත්තේය. කම්කරු පක්ෂය යළිත් බලයට එන්නේ වසර 14කට පසු ප්‍රථම වතාවටය.
ජූලි 5 – 2024 ඉරාන ජනාධිපතිවරණයේ දී Masoud Pezeshkian ඉරානයේ ජනාධිපති ලෙස තේරී පත් විය
ජූලි 9-11 – 33 වැනි නේටෝ සමුළුව වොෂින්ටන්, ඩී.සී. හිදී පැවැත්විණි.
ජුලි 13 – හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ බට්ලර් අසල පැවති 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ඝාතනය කිරීමට තැත් කෙරනි. එහිදී ඔහුගේ දකුණු කනට වෙඩි වැදී තිබිණි.
ජුලි 15 – 2024 රුවන්ඩා මහ මැතිවරණයෙන් වත්මන් පෝල් කගාමේ සිව්වන වාරය සඳහාත් රාජ්‍ය පාලනය සඳහා නැවත තේරී පත් විය.
ජූලි 19 – ගෝලීය තොරතුරු තාක්ෂණ ඇනහිටියේය. ලොව පුරා විවිධ ව්‍යාපාර සහ සංවිධානවලට එය විශාල වශයෙන් බලපෑවේය.
ජූලි 21 – එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේය.
ජුලි 22 – ඉතියෝපියාවේ ගෝෆා සූරියා හි සහ ගෙස් ගෝෆා හි නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 257 දෙනෙකු මිය ගිය අතර ගම්මාන දෙකක් වැළලී ගියේය.
ජූලි 26 – අගෝස්තු 11 – 2024 ගිම්හාන ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් හිදී ආරම්භ වූයේය. මෙම ඔලිම්පික් උළෙලේ දී මතභේදාත්මක සමාරම්භක උත්සවය සහ ලූකා හමෝරි සහ ඉමානේ කෙලිෆ්ගේ බොක්සිං තරඟය ජාත්‍යන්තර විවාදයට තුඩු දුන්නේය.
ජූලි 28 – 2024 වෙනිසියුලානු ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති Nicolás Maduro ජය ගත්තේය. ජනාධිපතිවරණය ජය ගත් ආකාරය පිළිබඳ අක්‍රමිකතා සහිත චෝදනා මධ්‍යයේ, බොහෝ දකුණු ඇමරිකානු ප්‍රාන්ත ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.
ජූලි 30 – ඉන්දියාවේ කේරළයේ වයනාද් දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 334 දෙනෙකු මිය ගොස්, 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, 281 දෙනෙකු අතුරුදන් වූයේය.
ඊශ්‍රායලය විසින් මජ්දාල් ෂම්ස් ප්‍රහාරයට අණ දුන් බවට චෝදනා කළ හිස්බුල්ලා අණ දෙන නිලධාරී ෆුවාඩ් ෂුක්ර් මරාදමමින් බේරූට්හි ඩහීහ් උප නගරයට ගුවන් ප්‍රහාරයක් දියත් කළේය.
2024 එක්සත් රාජධානියේ කෝලාහල: එංගලන්තයේ සවුත්පෝට් හි සමූහ පිහි ඇනුමකට ප්‍රතිචාර වශයෙන් එක්සත් රාජධානිය පුරා අන්ත දක්ෂිණාංශික කෝලාහල ඇති විය.
ජූලි 31 – හමාස් සංවිධානයේ දේශපාලන නායකයා වූ ඉස්මයිල් හනියේ ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසේදී ඝාතනය කරනු ලැබුවේය
අගෝස්තු
අගෝස්තු 1 – සීතල යුද්ධයෙන් පසු එක්සත් ජනපදය සහ රුසියාව අතර විශාලතම සිරකරුවන් හුවමාරුව සිදු විය. අන්කාරා එසෙන්බෝගා ගුවන් තොටුපළේ දී පුද්ගලයන් විසිහය දෙනෙකු නිදහස් කරනු ලැබිනි.
අගෝස්තු 5 – රට පුරා ඇති වූ විරෝධතාවලට මුහුණ දිය නොහැකිව බංගලිදේශයේ අගමැතිනි ෂීක් හසීනා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර ඉන්දියාවට පලා ගියාය.
අගෝස්තු 6 – ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර්, හමාස් දේශපාලන කාර්යාංශයේ සභාපති ලෙස පත් විනි.
අගෝස්තු 8 – නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංග්ලාදේශයේ ෂීක් හසීනාගේ ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවන ලද අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධාන උපදේශක ලෙස වැඩ භාර ගත්තේය.
අගෝස්තු 9 – බ්‍රසීලයේ සාඕ පවුලෝ හි වින්හෙඩෝ අසලදී කඩා වැටුණ ATR 72 ගුවන් යානය අනතුරකට ලක් වී කඩා වැටීමෙන් යානයේ සිටි 62 දෙනාම මිය ගියේය.
අගෝස්තු 23 – ජර්මනියේ සොලින්ගන් හිදී සිරියානු සංක්‍රමණිකයෙක් පුද්ගලයන් තිදෙනෙකුට පිහියෙන් ඇන ඝාතනය කළේය. එය ජර්මනියට ඇතුළුවන සංක්‍රමණිකයන් පිළිබඳ විවාදය තීව්‍ර කිරීමට හේතු විය.
අගෝස්තු 24 – බුර්කිනා ෆාසෝ නගරයේ බර්සාලෝගෝ හි දී අල්-කයිඩාවට සම්බන්ධ ඉස්ලාම්වාදීන් විසින් සිදු කරන ලද සමූහ ඝාතනයකට සිවිල් වැසියන් 600ක් ගොදුරු විය.
අගෝස්තු 25 – ඊශ්‍රායල ආරක්ෂක හමුදා දකුණු ලෙබනනයේ ඉලක්ක වෙත පූර්වගාමී ප්‍රහාර මාලාවක් ආරම්භ කළේය.
අගෝස්තු 28 – සැප්තැම්බර් 8 – 2024 ගිම්හාන පැරාලිම්පික් ප්‍රංශයේ පැරිස් හිදී පැවැත්විනි.
අගෝස්තු 31 – රුසියාවේ Kamchatka Krai හි හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි 22 දෙනාම මිය ගියේය.
සැප්තැම්බර්
සැප්තැම්බර් 2 – එලොන් මස්ක්ගේ හිමිකාරිත්වය යටතේ ඇති සමාජ මාධ්‍ය වේදිකාව වන X (ට්විටර් ලෙසද හැඳින්වේ) අවහිර කරීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
සැප්තැම්බර් 7 – 2024 ඇල්ජීරියානු ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති අබ්දෙල්මඩ්ජිඩ් ටෙබූන් දෙවන වාරය සඳහා ද නැවත තේරී පත් විය.
සැප්තැම්බර් 15 – ෆ්ලොරිඩාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් රයන් වෙස්ලි රවුත්ට චෝදනා එල්ල විය. රයන් පසුව අල්ලාගෙන අත්අඩංගුවට ගනු ලබන අතර, නඩු විභාගය 2025 ට කල් ගියේය.
සැප්තැම්බර් 17-18 – වෛද්‍යවරුන් විසින් භාවිතා කරන ලද පේජර් සහ වෝකිටෝකි යන්ත්‍රවලට එල්ල කළ දැවැන්ත සයිබර් ප්‍රහාර දෙකකින් තිස් දෙදෙනෙකු මිය ගොස් 3,200 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම උපකරණ හිස්බුල්ලා සටන්කාමීන් විසින් භාවිතා කරන බවට ලද තොරතුරු මත ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැලකේ.
සැප්තැම්බර් 20 – සතිය මුලදී සිදු වූ පේජර් පිපිරීම් හේතුවෙන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සටන් තීව්‍ර වීමෙන් පසු ඊශ්‍රායලය හිස්බුල්ලා නායක ඊබ්‍රාහිම් අකිල් සහ තවත් ජ්‍යෙෂ්ඨ නායකයින් දස දෙනෙකු බීරූට්හිදී ඝාතනය කරයි.
සැප්තැම්බර් 23 – 2006 සිට හිස්බුල්ලා-ඊශ්‍රායල් ගැටුම් ඉතිහාසයේ ම්ලේච්ඡතම දිනය වාර්තා විය. ලෙබනනයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 569ක් මිය ගොස් 1,835ක් තුවාල ලැබූහ.
සැප්තැම්බර් 26 – 2017 දී මාරියා සුළි කුණාටුවෙන් පසු ෆ්ලොරීඩාට ගොඩ බසින ලද මාරාන්තික අත්ලාන්තික් සුළි කුණාටුව වන හෙලේන් සුළි කුණාටුවෙන් මරණ සංඛ්‍යාව 236ක් වාර්තා විය. පුද්ගලයින් 685කට වැඩි පිරිසක් අතුරුදන් වූයේය.
සැප්තැම්බර් 27 – ඊශ්‍රායල ගුවන් හමුදාව බේරූට්හි හිස්බුල්ලාහි මධ්‍යම මූලස්ථානයට බෝම්බ හෙලීමෙන් හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඇතුළු කිහිප දෙනෙකු මිය ගියේය.
සැප්තැම්බර් 29 – 2024 ඔස්ට්‍රියානු ව්‍යවස්ථාදායක මැතිවරණයේ දී අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත්තේය. ජාතික කවුන්සිලයේ බහුතරයක් අත්පත් කර නොගත්තත් මේ ජයග්‍රහණය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔස්ට්‍රියාවේ සිදුවන පළමු අන්ත දක්ෂිනාංශික ජයග්‍රහණය ලෙස සැලකේ.
සැප්තැම්බර් 30 – විදුලි උත්පාදනය සඳහා ගල් අඟුරු බලය ඉවත් කළ පළමු G7 රට බවට එක්සත් රාජධානිය පත් වේ. වසර 142 ක් පුරා එක්සත් රාජධානිය සිය ප්‍රධාන බලශක්ති ප්‍රභවයක් ලෙස ගල් අඟුරු භාවිතා කළේය.
ඔක්තොම්බර්
ඔක්තෝබර් 1 – ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයින් බහුතරය එක් වී ජපාන පාර්ලිමේන්තුව ෂිගෙරු ඉෂිබා ජපානයේ නව අගමැති ලෙස තෝරා පත් කර ගනී.
ඔක්තෝබර් 3-20 – 2024 ICC කාන්තා T20 ලෝක කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුන අතර ලෝක ශූරතාවය නවසීලන්තය විසින් දිනා ගත්තේය.
ඔක්තෝබර් 9 – 2024 මොසැම්බිකානු මහ මැතිවරණයේ දී ඩැනියෙල් චාපෝ ජනාධිපති ලෙස තේරී පත් වූයේය. පාලක FRELIMO පක්ෂය ජනරජ සභාවෙහි බහුතරය රඳවා ගත්තේය.
ඔක්තෝබර් 14 – යුරෝපා ක්ලිපර් අභ්‍යවකාශ යානය බ්‍රහස්පති ග්‍රහයාගේ අයිස් සහිත චන්ද්‍රයෙකුවන යුරෝපා ගැන විමර්ශනය කිරීමට දියත් කරන ලදී.
ඔක්තෝබර් 16 – හමාස් නායක යාහ්යා සින්වාර්, රෆාහි ඊශ්‍රායල හමුදා සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගියේය.
ඔක්තෝබර් 21 – වියට්නාමයේ ජාතික සභාව විසින් වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස Lương Cường තෝරා පත් කළේය.
ඔක්තෝබර් 26 – 2024 ජෝර්ජියානු පාර්ලිමේන්තු මැතිවරණයේ දී මැතිවරණ දූෂණ චෝදනා සහිතව පාලක රුසියානු හිතවාදී පක්ෂය වන ජෝර්ජියන් බහුතරයක් දිනා ගත්තේය.
ඔක්තෝබර් 27 – 2024 ජපන් මහ මැතිවරණයේ දී පාලක LDP පක්ෂයට 2009 න් පසු ප්‍රථම වතාවට එහි පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. එහෙත් තවමත් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගන්නේ එම පක්ෂය ය. CDP පක්ෂ මැතිවරණය නිමා කරන්නේ ඉතිහාසයේ හොඳම ප්‍රතිඵලය ලබා ගෙනය.
ඔක්තෝබර් 30 – 2024 බොට්ස්වානා මහ මැතිවරණයේ දී වසර 58ක අඛණ්ඩ පාලනය අවසන් කරමින් පාලක BDP පක්ෂය බලයෙන් ඉවත් විය. UDC පක්ෂයේ Duma Boko බොට්ස්වානා හි ජනාධිපති ලෙස තේරී පත් විය.
නොවැම්බර්
නොවැම්බර් 5 – 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. එය ලෝක දේශපාලනයේ විචිත්‍ර අවස්ථාවක් ලෙස සැලකේ.
නොවැම්බර් 9 – පකිස්ථානයේ බලුකිස්තානයේ ක්වෙටා දුම්රිය ස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගියේය. මෙම බෝම්බ ප්‍රහාරය බලුකිස්ථාන් විමුක්ති හමුදාව විසින් දියත් කර තිබිණි.
නොවැම්බර් 11-22 – COP29 සමුළුව අසර්බයිජානයේ බකු හිදී පැවැත්විනි.
නොවැම්බර් 12 – එංගලන්ත පල්ලිය හා සම්බන්ධ ළමා අපයෝජකයෙකු පිළිබඳ තොරතුරු වසන් කිරීමේ චෝදනා මත ලොව පුරා සිටින මිලියන 85ක ඇන්ග්ලිකන්වරුන්ගේ අධ්‍යාත්මික නායකයා වන වෙල්බි කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි ධූරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කළේය .
නොවැම්බර් 16 – ප්‍රංශ-ඇල්ජීරියානු ලේඛක බූවලෙම් සන්සාල් ඇල්ජීරියාවට පැමිණීමෙන් පසු ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවේය.
නොවැම්බර් 21 – ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හිටපු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ හමාස් හමුදා නායක මොහොමඩ් ඩීෆ් යන අයට ඊශ්‍රායල-හමාස් යුද්ධයේදී සිදු කළ යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේය.
නොවැම්බර් 24 – 2024 උරුගුවේ මහා මැතිවරණයේ දී වාමාංශික විපක්ෂ අපේක්ෂක යමන්ඩූ ඔර්සි ජනාධිපති ලෙස තේරී පත් විය.
නොවැම්බර් 26 – ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෙබනනයේ හිස්බුල්ලා සමඟ සටන් කිරීම අවසන් කිරීමට සටන් විරාම ගිවිසුමකට එකඟ වී ඇති බව නිවේදනය කළේය.
නොවැම්බර් 27 – 2024 නැමීබියානු මහ මැතිවරණයේ දී SWAPO පක්ෂයේ නෙටුම්බෝ නන්ඩි – න්ඩයිට්වාහ් (Netumbo Nandi-Ndaitwah) නැමීබියාවේ පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස තේරී පත් වූවාය.
නොවැම්බර් 30 – විරුද්ධ හමුදා සිරියාවේ ඇලෙප්පෝ නගරයේ බොහෝ ප්‍රදේශයේ පාලනය අත්පත් කර ගත් අතර, 2016 න් පසු නගරයට ප්‍රථම රුසියානු ගුවන් ප්‍රහාර එල්ල විය.
දෙසැම්බර්
දෙසැම්බර් 3 – රටේ ප්‍රධාන විපක්ෂයවන ඩිමොක්‍රටික් පක්ෂය උතුරු කොරියාවට අනුකම්පා කරමින් සහ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වන බවට චෝදනා කරමින් YTN රූපවාහිනියේ සජීවීව විකාශය වූ රාත්‍රී දේශනයකදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්, යුද නීතිය ප්‍රකාශ කළේය.
දෙසැම්බර් 4 – : 1962 දී ජෝර්ජස් පොම්පිඩෝගෙන් පසු විශ්වාසභංගයක් පරාජය වූ ප්‍රංශයේ පළමු අගමැති බවට මයිකල් බාර්නියර් පත් වූයේය.
එදිනම එක්සත් ජනපදයේ සෞඛ්‍ය රක්‍ෂණ ක්‍ෂේත්‍රය පිළිබඳ විවාදයක් සහ විවේචනයක් ඇති කරමින්, UnitedHealthcare හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්සන්, මිඩ්ටවුන් මෑන්හට්ටන් හි දී හුදකලා තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා මරා දමන ලදී.
දෙසැම්බර් 6 – 2024 රුමේනියානු ජනාධිපතිවරණයේ දී රුසියානු හිතවාදී අපේක්ෂක Călin Georgescu ගේ අනපේක්ෂිත ප්‍රගතියෙන් පසු ඇතිවුන රුසියානු මැදිහත්වීම් පිලිබඳ චෝදනා මධ්‍යයේ රුමේනියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ජනාධිපතිවරණයේ පළමු වටයේ ප්‍රතිඵල අවලංගු කළේය.
දෙසැම්බර් 7 – 2019 දී ගින්නකින් විනාශ වී ගිය ඓත්හාසික Notre-Dame ආසන දෙව්මැදුර නැවත මහජනතාව සඳහා විවෘත වුනේය.
දෙසැම්බර් 8 – සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් රජය පෙරළා දමනු ලැබීය. ජනාධිපතිවරයා දමස්කස් නුවරින් පිටත්ව ගියේය. ඔහුගේ ජනාධිපති ධූරය සහ ඔහුගේ පාර්ශවය විසින් පවත්වාගෙන පැමිණි වසර 61ක සිරියාවේ පාලනය අවසන් විය. සිරියානු විපක්ෂය අන්තර්වාර ජයක් පිහිටවනු ලැබුවේය.
දෙසැම්බර් 11 – මොරොක්කෝව, පෘතුගාලය සහ ස්පාඤ්ඤය එක්ව 2030 ලෝක කුසලානය සත්කාරකත්වය දරන බව FIFA නිවේදනය කළේය. සංවත්සර තරඟ ආර්ජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේ යන රටවල පැවැත්වීමට නියමිත අතර, සෞදි අරාබිය 2034 සඳහා සත්කාරකත්වය තහවුරු කර ඇත.
දෙසැම්බර් 12 – ඉන්දියානු චෙස් ශූර ප්‍ර ගුකේෂ් දොම්මරාජු 2024 ලෝක චෙස් ශූරතාවය දිනා ගත්තේය. ඒ හිටපු ලෝක ශූර ඩිං ලිරන් පරදවමිනි. ලෝකයේ ලාබාලම චෙස් ශූරයා ලෙස වසය අවුරුදු 22 දී වාර්තා තැබූ ගැරී කැස්පරොව් විසින් තබන ලද වාර්තාව අවුරුදු 18 යි දින 195 ක් වයසැති ඉන්දියානු ශූරයා බිඳ දැම්මේය.
දෙසැම්බර් 14 – දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ගේ බලතල සහ රාජකාරි අත්හිටුවනු ලැබුවේය. ඒ යුධ නිතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔහුට දෝෂාභියෝගයක් ගෙන ඒමට ඡන්දය දීමෙන් පසුය.
දෙසැම්බර් 19 – සිය බිරියට මත්ද්‍රව්‍ය ලබා දී පිරිමින් 72කට නොඅඩු සංඛ්‍යාවක් ලවා 92වතාවක් දූෂණය කර ඡායා රූප හා වීඩියෝ ලබා ගත් කුප්‍රකට සිදුවීම සම්බන්ධව ගිනිකොණ දිග ප්‍රංශයේ විභාගවුන Mazan ස්ත්‍රී දූෂණ නඩු විභාගයේ දී අධිකරණය විසින් එම අපරාධයට ලක්වුන කාන්තාවගේ සැමියා වූ ඩොමිනික් පැලිකොට් වෙත වසර 20ක සිරදඬුවම් නියම කළේය. එම කාන්තාව දූණෂණය කළ 50 දෙනෙක් ද වසර 3 සිට 15 දක්වා සිරදඬුවම් ලදහ.
දෙසැම්බර් 20 – ජර්මනියේ මැග්ඩෙබර්ග් හි නත්තල් පොළකදී මෝටර් රථයක් ජනතාව අතරට පැදවීම නිසා පස් දෙනෙක් මිය ගිය අතර තවත් 205 දෙනෙක් තුවාල ලැබූහ.
දෙසැම්බර් 21 – බ්‍රසීලයේ මිනාස් ජෙරායිස් හි Teófilo Otoni හි පිහිටි BR-116 අධිවේගී මාර්ගයේ වාහන එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලැබීය.
දෙසැම්බර් 25 – අසර්බයිජාන් ගුවන් සේවයේ අංක 8243, ගුවන් යානය හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් කසකස්තානයේදී කඩා වැටී 42ක් ජිවිතක්ෂයට පත් විය. යානයේ සිටි 67 දෙනාගෙන් 29 දෙනෙක් අනතුරින් දිවි ගලවා ගත්හ
දෙසැම්බර් 27 – ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වුනේය. ඉන්දියාවේ පුනරුද යුගය වෙනුවෙන් අඩිතාලම දැමූ ශ්‍රේෂ්ඨතමයා ලෙස සැලකෙන්නේ ඔහුය.
දෙසැම්බර් 29 – දකුණු කොරියානු ඉතිහාසයේ බිහිසුණුම ගුවන් අනතුර සිදුවිය. බැංකොක් සිට ගුවන්ගත වී මුආන් ගුවන් තොටුපලට ගොඩබෑමට සැරසුන ජෙජු එයාර් සමාගමට අයත් ගුවන් යානය ගොඩ බැස්වීමට යාමේදී, ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී සිදුවූ අනතුරින් යානයේ ගමන් ගත් මගීන් 181න් මගින් 179ක් ජීවිතක්ෂයට පත් වූහ.







